Tuesday, December 31, 2019

උසස් පෙළ අර්ථික විද්‍යාව - හය වන කොටස -මූලික ආර්ථික ක්‍රියා සහ ආර්ථික කාරක

උසස් පෙළ අර්ථික විද්‍යාව
පළමු පාඩම: අර්ථික විද්‍යාව හැදින්වීම-
හය වන කොටස (2019/12/25)
~~~~~~~~~~~~~~~~~~~~~~
🍁මූලික ආර්ථික ක්‍රියා සහ ආර්ථික කාරක🍁
🌱මූලික ආර්ථික ක්‍රියා
ඕනෑම ආර්ථිකයක හෝ සමාජයක අඛණ්ඩව සිදුවන මුලික ආර්ථික ක්‍රියා තුනක් තිබේ. ඒවා නම්,
🔹නිෂ්පාදනය
🔹හුවමාරුව
🔹පරිභෝජනය
🤗ඉහත මූලික ආර්ථික ක්‍රියා තුනෙන්
නිෂ්පාදනය යනු කුමක් ද යන්න පසුව එන පරිච්ජේදයක පුළුල් වශයෙන් විස්තර කරන අතර පරිභෝජනය යනු කුමක් ද යන්න පූර්ව පරිච්ජේදයක පුළුල් ලෙස විග්‍රහ කර ඇත. එබැවින් මෙම පරිච්ජේදයේ අරමුණ වනුයේ හුවමාරුව යනු කුමක් ද යන්න විග්‍රහ කිරීම පමණි.
🌱 හුවමාරුව:
🔹බොහෝ පුද්ගලයින් නිෂ්පාදන කාර්යයක යෙදෙන්නේ තමාගේ ම පාරිභෝගික අවශ්‍යතා සඳහා භාණ්ඩ හා සේවා නිපදවා ගැනීමට නොවේ. තමාගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමට තමා විසින්ම භාණ්ඩ හා සේවා නිපදවා ගනු ලබන ස්වයංපෝෂිත තත්වයක් දැකිය හැකි නොවේ. සහල්, එළවළු ආදිය නිපදවා ගන්නා ගොවියකුට පවා ලුණු, සීනි, පාන්, මාළු ආදීය මිළදී ගැනීමට සිදුවේ. මිළ දී ගැනීමේ දී සිදුවනුයේ හුවමාරුවකි. එනම් මුදල් වලට භාණ්ඩ හුවමාරු වීමකි.
🔹මෙසේ හුවමාරු ක්‍රියාවලිය සිදුවීමට නම් මුදල් අවශ්‍ය වේ. මෙසේ මුදල් ලැබෙනුයේ භාණ්ඩ හා සේවා සැපයීම තුළින් ලැබෙන ආදායමිනි. ගොවියකු වී හෝ එළවළු හෝ වෙනත් මස් හෝ බිත්තර වැනි දෑ අලවි කර ආදායමක් උපයා ගනී. ඔහු ඒ සඳහා වෙළඳ පොළ තුළ විකිණිය හැකි අතිරික්තයක් බිහිකර ගත යුතුව ඇත. නුතන සමාජයක මිලදී ගැනීමේ ක්‍රියාව සඳහා මුදල් අවශ්‍ය කරයි. ආර්ථිකයක හුවමාරු ක්‍රියාවලිය පහසු කරනුයේ මුදල් භාවිතය මගිනි. මුදල් හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි.
🔹භාණ්ඩ මිලදී ගැනිමට මුදල් අවශ්‍ය වේ. එය අතරමැදියකු ලෙස ක්‍රියා කරයි. මුදල් වලට මෙම අතරමැදි කාර්ය කළ හැකි වනුයේ ඒවා ගනුදෙනු වලදී කවුරුත් පිළිගන්නා බැවිනි. මුදල් හුවමාරු මාධ්‍ය ලෙස ක්‍රියා නොකරන, භාණ්ඩයක් තවත් භාණ්ඩයකට සෘජුව හුවමාරු වන බාටර් ආර්ථිකයක හුවමාරුවක් සිදුවීමට නම් අදාළ හුවමාරුවට සම්බන්ධවන පුද්ගලයින් දෙදෙනාගේ අවශ්‍යතා ගැලපිය යුතුය. නූතන ආර්ථිකය හුවමාරු ආර්ථිකයක් වී ඇත්තේ මුදල් භාවිතය නිසාය.නූතන ආර්ථිකය මූල්‍ය ආර්ථිකයක් ලෙස බොහෝ විට හැදින්වේ. හුවමාරුව පහසු වන විට නිෂ්පාදනය ඉහළ යයි. නිෂ්පාදනය වර්ධනය වීමත් සමඟ ඊට සම්බන්ධ ජනතාවගේ ආදායම ඉහළ යයි. මෙසේ නිෂ්පාදනයන් සමඟ ආදායම ඉහළ යාම නිසා පරිභෝජනය ඉහළ ගොස් ජනතාවගේ ජීවන තත්වය උසස් වේ. නිෂ්පාදනය කිරීම මෙන්ම අලෙවි කිරීම ද හුවමාරුව නිසා පහසු වන විට මහා පරිමාණ නිෂ්පාදනයට මඟ පෑදේ. එවිට පුද්ගලයන් තම හැකියාවන් වලින් උපරිම ප්‍රයෝජන ගැනෙන ආකාරයට නිෂ්පාදන කාර්යයයේ නිරත වීමට මග පෑදේ. එම නිසා නුතන ආර්ථිකයක පුද්ගලයින් නිරත වනුයේ තමාට වඩාත්ම හොඳින් සිදුකළ හැකි කාර්යයයේ පමණි. ඒ තුළින් ශ්‍රම විභජනය හා විශේෂිකරණයට පත් වේ.
නිදසුන් - රියදුරකු තම ශ්‍රමය අලෙවි කර ආදායමක් ඉපයීම, එසේම ගුරුවරුන්, කම්කරුවන්, ලිපිකරුවන් ආදායම් උපයන්නේ, තම ශ්‍රමය සාධක වෙළදපොළේ මුදලට අලෙවි කිරීමෙනි.
🔹හුවමාරු ක්‍රියාවලියේ නිරත වන්නේ පාරිභෝගිකයින් ය. ඒ සඳහා ඔවුන්ට ආදායමක් අවශ්‍ය වේ. පාරිභෝගිකයින්ට නැතහොත් කුටුම්භයන්ට (කුටුම්භයක් යනු එක් පවුලකි. අපේ රටේ කුටුම්භයක සාමාජික සංඛ්‍යාව දළ වශයෙන් පහකි.)
🌱 ආර්ථික කාරක:
🔹ආර්ථිකයක ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නිෂ්පාදනයත් හුවමාරුවත් පරිභෝජනයත් මඟිනි. මේ ක්‍රියාවලියට සම්බන්ධ වී ඒ පිළිබඳ තීරණ ගෙන ඒවා ක්‍රියාවට නංවන පුද්ගලයින් හෝ ආයතන ප්‍රධාන පාර්ශව හතරකින් යුක්ත වේ. එනම්,
☑️කුටුම්භ අංශය
☑️නිෂ්පාදන අංශය
☑️රාජ්‍ය අංශය
☑️විදේශ අංශය
🌱 කුටුම්භ අංශය:
එක් වහලක් යට එකට ජීවත්වන පවුලක් කුටුම්භයක් ලෙස අදහස් කරයි. පොදු අයවැයකින් පාරිභෝජනයට සම්බන්ධ තීරණ ගැනීම කුටුම්භයක විශේෂ ලක්ෂණයකි. කුටුම්භයක් ආර්ථික කටයුතුවලට විවිධාකාරයෙන් සම්බන්ධ වේ. ආර්ථිකයක නිෂ්පාදන සාධක හිමිකරුවන් කුටුම්භයන් ය. ඔවුන් තමන් සතු භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධක නිෂ්පාදන කටයුතුවලට සපයා දී වැටුප්, බදුකුළී, පොළි සහ ලාභ යන සාධක ආදායම් උපයාගනී. ආර්ථිකයක නිෂ්පාදනය කරන භාණ්ඩත් සේවාවනුත් පරිභෝජනය කරනුයේ කුටුම්භයන් ය. ආර්ථිකයක ඉතුරුම් බිහිකරන ප්‍රධාන පාර්ශ්‍රවය වන්නේ ද මෙම කුටුම්භයන්ම ය. කුටුම්භයක් තම ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකරන ප්‍රමාණය කුටුම්භ ඉතුරුම් වේ. කුටුම්භයක් කටයුතු කරනුයේ භාණ්ඩත්, සේවාවනුත් පරිභෝජනය කිරීමෙන් ලබන උපයෝගීතාව උපරිම කර ගැනීම උදෙසායි.
☑️ කුටුම්භයක් ඉටු කරන කාර්යයන්:
🔹තමා සතු නිෂ්පාදන සාධක (ශ්‍රමය) සාධක වෙළඳපොලේ අලෙවි කර ආදායම් ඉපයීම.
උදා-: කම්කරුවකු තම ශ්‍රමය සැපයීම වෙනුවෙන් දිනකට රුපියල් 200ක ආදායමක් ඉපයීම.
🔹ඉතුරුම් බිහි කිරීම - කුටුම්භයක් තමන්ට ලැබෙන ආදායම වියදම් කර භාණ්ඩ හා සේවා මිලදී ගනී. ඒවා පරිභෝජනය කරයි. එබැවින් පාරිභෝගිකයන් යනු කුටුම්භයන්ය.
🔹භාණ්ඩ පරිභෝජනය පිළිබඳ තීරණ ගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන ඒකකය කුටුම්භයයි. එබැවින් පාරිභෝගිකයා යයි සඳහන් කරන විට එයින් අදහස් වනුයේ කුටුම්භයන්ය.
🔹යැපුම් නිෂ්පාදන කටයුතු සිදු කිරීම - එනම් කිසියම් කුටුම්භයක් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම කුටුම්භයේ සාමාජිකයන් විසින්ම භාණ්ඩ හා සේවා නිපදවීමකි. එනම් මෙහිදී අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා වෙළදපළ හරහා ගනුදෙනුවක් සිදු නොවේ. එනම් යැපුම් කටයුතු මගින් හුවමාරුවක් සිදු නොවේ.
උදා -: ගෘහණියන්ගේ සේවා (ඉවුම් පිහුම්, රෙදි සේදීම, දරුවන් රැකබලා ගැනීම, සුද්ද පවිත්‍ර කිරීම)
🔹බදු ගෙවීම - ඇතැම් කුටුම්භයන්ගේ ආදායම බද්දට යටත්වන මට්ටමේ පවති නම් ඔවුන් රජයට සෘජු බදු ගෙවිය යුතුය. එසේ නොමැති නම් ඔවුන් ගෙවනුයේ වක්‍ර බදු (භාණ්ඩ හා සේවා මත බදු) පමණි නමුත් ඇතැම් කුටුම්භ සෘජු බදු මෙන්ම වක්‍ර බදු ද ගෙවයි.
🌱 ව්‍යාපාර ආයතන / නිෂ්පාදන ඒකක:
වෙළඳපොළේ විකිණීම සඳහා භාණ්ඩත්, සේවාවනුත් නිෂ්පාදනය කරන පුද්ගලයින් ද, ආයතන ද නිෂ්පාදන ඒකක වශයෙන් හැඳින්වේ. ගොවියන්, ස්වයං රැකියාවක නිරත වන්නන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන පුද්ගලයින්, උදාහරණ ලෙස දැක්විය හැක. පෞද්ගලික අංශයත්, දෙපාර්තමේන්තු යනාදී රාජ්‍ය අංශයන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍යකරන සම්පත් ලබාගනුයේ කුටුම්භ මඟිනි. එලෙස ලබා ගන්නා සම්පත් සඳහා නිෂ්පාදන ඒකක විසින් කුටුම්බවලට ගෙවීම් කරයි. කුමණ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේ ද යන්නත් කුමන ශිල්පක්‍රමය භාවිතා කරන්නේ ද යන්නත් පිළිබඳව තීරණය කරනුයේ ද නිෂ්පාදන ආයතන විසිනි. නිෂ්පාදන ආයතන විසින් කුටුම්භ අංශයෙන් ලබා ගන්නා සාධක සේවා වෙනුවෙන් කුටුම්භ අංශයට ගෙවීම් කරයි. එනම් වැටුප්, පොළී, ලාභ, බදු කුලි ගෙවයි. එවිට නිෂ්පාදන අංශයෙහි සිට කුටුම්භ අංශයට ආදායම් ගලායාමක් සිදුවේ. ව්‍යාපාර ආයතන ලාභ උපරිම කිරිමේ අරමුණින් ක්‍රියා කරන බව සැබෑවක් වුවද එය වඩාත් සාධාරණ වනුයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සම්බන්ධයෙන් පමණි. රාජ්‍ය අංශයේ ව්‍යාපාරවලදී ලාභයට අමතරව දේශපාලන ආදී කරුණුවල බලපෑමක්ද පවතී.
☑️ව්‍යාපාරික ආයතන ඉටුකරනු ලබන කාර්යයන්
🔹කුටුම්බයන්ගෙන් නිෂ්පාදන සාධක මිලදී ගෙන ඒ සඳහා ගෙවීම් කිරීම.
🔹පාරිභෝගික භාණ්ඩ ආයෝජන භාණ්ඩ කුටුම්භයන්ට අලෙවිකර ආදායම් ඉපයිම.
🔹නිෂ්පාදන ආයතන මගින් නිපදවන භාණ්ඩවල වටිනාකම මත රජයට බදු ගෙවීම.
🔹රජයෙන් යම් යම් සහන ලබා ගැනීම. (නිදසුන් : බදු සහනාධාර, නිෂ්පාදන පිහිටාධාර, යටිතල පහසුකම්)
🔹විවිධ සමාජ සුභසාධන කටයුතුවල නිරතවීම. (උදාහරණ : ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතුවලදී ව්‍යාපාරික ආයතන විසින් අනුග්‍රහය දැක්වීම, පොදු සමාජ ව්‍යසනයන්වලදී ආධාර උපකාර කරීම.
🔹ආයෝජන කටයුතුවල නිරතවීම. (කොටස් වෙළඳපොළ ආදී මුල්‍ය ආයතනවල ව්‍යාපාරීක ආයතන සිය ධනය ආයෝජනය කරයි.
🌱 රාජ්‍ය අංශය:
ව්‍යවස්ථාදායකයත් විධායකයත් රජය ලෙස සලකයි. රටට අවශ්‍ය නීති සැකසීම ව්‍යවස්ථාදායකයෙන් ද ඒවා ක්‍රියාවට නැංවීම විධායකයෙන් ද සිදුවේ. අධිකරණ, ආරක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සේවා, ප්‍රවාහන, තැපැල්, විදුලි සංදේශ යනාදී අංශ පිළබඳව ප්‍රතිපත්ති සම්පාදනය කරන, ඒවා ක්‍රියාත්මක කරන හා ඒවායේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කරන ආයතන රජය යන්නට අයත් වේ. ආර්ථිකයක ක්‍රියාකාරිත්වයට රජය විවිධාකාරයෙන් දායක වේ.
☑️ රජයේ කාර්යභාරය
🔹ආර්ථිකයට අවශ්‍ය නීතිරීති රාමුව සකස් කරනුයේ රජයයි. කුටුම්භයන් සතු නිෂ්පාදන සාධක අයිතිය තහවුරු වන්නේත්, ව්‍යාපාර ආයතනවල පැවැත්ම තහවුරු වන්නේත්, නිෂ්පාදන හුවමාරුව නීත්‍යානුකූල වන්නේත්, නීතිය හා සාමය ආරක්ෂා වන්නේත් එහි නීති නිසාය.
🔹ආර්ථිකයක ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන පොදු පහසුකම් සැපයීම ද රජයක් විසින් සිදු කරනු ලබන තවත් වැදගත් කාර්යයක් වේ. මහා මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලය, සන්නිවේදනය ආදිය රජයෙන් සැපයෙන පොදු පහසුකම්වලට උදාහරණ වේ.
🔹රජය මානව සම්පත් සංවිධානය උදෙසා දායක වේ. මිනිසා සතු දක්ෂතා නිපුනතා යනාදිය සංවර්ධනය කිරීම මෙමගින් අදහස් කරයි. රජය සපයන අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් මේ සඳහා ඉවහල් වේ. මෙම සේවා පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒ සඳහා ගෙවීමට හැකියාවක් නැති පුද්ගලයින්ට පවා එකී සේවා ලබා දෙන්නේ රජයෙනි.
🔹පොදු භාණ්ඩ හා සේවාවන් සැපයීමත් රජයට අයත් කාර්යයක් වේ.ආලෝකකරණය, ප්‍රදීපාගාර, ඔරලෝසු කණු, ජල ගැලීම් වැලැක්වීම සඳහා වූ ව්‍යාපෘති ඇති කිරීම උදාහරණ වේ.
මෙම භාණ්ඩ සඳහා මිලක් අයකර ගැනීමට නොහැකි බැවින් එම භාණ්ඩ පෞද්ගලික අංශය සපයන්නේ නැත. මිල ගෙවු අයටත්, නොගෙවු අයටත් එකසේ මෙම භාණ්ඩ පාරිභෝජනය කල හැකි වේ. මිලක් නොගෙවු අය පරිභෝජනයෙන් ඉවත් කළ නොහැකි වීම මෙම භාණ්ඩවල ඇති විශේෂ ලක්ෂණයකි. රජය කටයුතු කරනුයේ ජනතාවගේ ශුභ සිද්ධිය සඳහායි.
🔹බදු පැනවීම ද රජය විසින් සිදු කරයි. රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය විසින් දරන වියදම පියවා ගන්නේ බදු ආදායම මගිනි ඒ සඳහා විවිධ වු බදු වර්ග පවති.
උදා : ආනයන බදු, දේපල බදු, ආදායම් බදු, වැට් බද්ද
(2018 මහ බැංකු වාර්තාව අනුව බදු ආදායම ද.දේ.නි % ලෙස 11.85 % කි.)
රජය බදු පනවනුයේ ව්‍යාපාරික අංශවලින් පමණක් නොවේ. කුටුම්භයන් මත ද රජය බදු පනවයි.
🌱 විදේශ අංශය:
🔹විදේශ අංශය යනු රටක් තම දේශසීමාවෙන් පරිභාහිර වු වෙනත් රටවල් සමඟ සිදු කරන වෙළඳ ගනුදෙනුයි විදේශ අංශයේ ප්‍රධාන කාර්යයන් දෙකක් පවතී.
☑️විදේශ අංශයේ කාර්යභාර්ය
1.ආනයන අපනයන කටයුතු සිදු කිරීම.
2.විදේශ විනිමය ගණුදෙනු සිදු කිරීම.
3.බදු ගෙවීම, ආයෝජන කටයුතු සිදු කිරීම. 4.ප්‍රාග්ධන ලැබීම හා ගෙවීම් සිදු කිරීම.
🍁ආර්ථික කාරක අතර සම්බන්ධතාවය:
🔹ආර්ථිකයක ක්‍රියාකාරීත්වය අවබෝධකර
ගැනීමට කුටුම්භ, නිෂ්පාදන ආයතන රජය
යන ප්‍රධාන ආර්ථික කාරක අතර ඇති
සම්බන්ධය අවබෝධකර ගැනීම වැදගත්
වේ. එම සම්බන්ධය සාරාංශ වශයෙන්
පහත පරිදි දැක්විය හැත.
🔹කුටුම්භ විසින් නිෂ්පාදන ආයතනවලට සහ රජයට සාධක සපයා ආදායම් උපයා ගනියි. ඒ ආදායම් වියදම් කරන භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. ඉතුරුම් බිහි කරයි. එසේම රජයට බදු ගෙවීමක් ද සිදු කරයි.
🔹නිෂ්පාදන ආයතන විසින් රජයට කුටුම්භයන්ට හා නිෂ්පාදකයින්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. ඒ සඳහා කුටුම්භවලින් ශ්‍රමය සහ වෙනත් නිෂ්පාද සාධක / සම්පත් මිලදි ගෙන ඒවාට ගෙවීම් කරයි. භාණ්ඩ අලෙවියෙන් ලාභ ඉපයේ එසේම ලාභය මත රජයට බදු ගෙවයි.
🔹රජය විසින් කුටුම්භයන්ට මෙන්ම නිෂ්පාදන ආයතනවලට පොදු පහසුකම් සපයයි එනම් කුටුම්භවලට අවශ්‍ය කරන අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සුභ සාධන සේවා සපයයි. මෙවැනි සේවා සැපයීම සඳහා රජය නිෂ්පාදන ආයතන සහ කුටුම්භවලින් බදු පනවා ආදායමක් උපයා ගනියි.
🔹නිෂ්පාදන අංශය විසින් දේශිය වෙළඳපොළට මෙන්ම විදේශීය වෙළඳපොළට ද භාණ්ඩ හා සේවා සපයයි. එසේම විදේශ‍ වෙළඳපොලෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආදිය ලබා ගනියි. එහිදී ආනයන / අපනයන වශයෙන් ජාත්‍යන්තර වෙළඳාමක් බිහිවේ.
--සුභ දවසක්, තවත් කොටසකින් හමුවෙමු--

උසස් පෙළ අර්ථික විද්‍යාව -පස් වන කොටස-ජීවන තත්වය

උසස් පෙළ අර්ථික විද්‍යාව
පළමු පාඩම: අර්ථික විද්‍යාව හැදින්වීම-
පස් වන කොටස (2019/12/20)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁ජීවන තත්වය🍁
🌱පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය වනුයේ අදාළ පුද්ගලයා මතම නොවේ. නැතහොත් එම පුද්ගලයාගේ ඕනෑ එපාකම් අනුවම නොවේ. එය තීරණය වනුයේ පුද්ගලයෙකු පරිභෝජනය කිරීමටය අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මත හා අදාළ සමාජය විසින් එම පුද්ගලයා පරිභෝජනය කරනු ලබන්නනේ යැයි අපේකෂා කරනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මතයි. මේ අනුව කිසියම් පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය වනුයේ පුද්ගලයකු කැමති දේ සහ ඔහු කැමති වේ යැයි සමාජය අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අතර එකඟතාවයක් පවතින තත්වයක් තුළදීය.
🍂කිසියම් පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය කරන සාධක
කිසියම් පුද්ගලයෙකුගේ හෝ කුටුම්භයක ජීවන තත්වය තීරණය වනුයේ පහත සඳහන් සාධක මතය.
☑️අදාල පුද්ගලයා හෝ කුටුම්බය ලබන ආදායම.
පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය කරන ප්‍රධාන සාධකය වනුයේ එම පුද්ගලයා ලබන ආදායමයි. කිසියම් පුද්ගලයෙකු ඉහළ ආදායමක් ලබන්නේ නම් අත්‍යාවශ්‍ය සුඛෝපභෝගී ආදී භාණ්ඩ වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමට ඇති හැකියාව ලැබේ. ආදායම ඉහළ යාම තුළින් ක්‍රය ශක්තිය ඉහළ යාම ඊට හේතුවයි. දුප්පත් පුද්ගලයෙකුට සාපේක්ෂව ධනවතුන්ගේ ජීවන තත්වය උසස් වනුයේ එබැවිනි.
☑️අදාළ කුටුම්භයේ ප්‍රමාණය.
පුද්ගලයෙකුගේ අදායම හා පවුලේ විශාලත්වය ඔහුගේ ආදායම කෙරෙහි බලපායි. කුටුම්භය විශාල නම් ආදායම ඒ කුටුම්භය අතර බෙදී ගිය විට එක් සාමාජිකයෙකුට ලැබෙන ආදායම කුඩා වේ. එවිට පුද්ගලිකව එක් පුද්ගලයෙකුගේ ජීවන තත්වය අඩු වේ. නමුත් ආදායම ස්ථාවරව තිබියදී පවුලක ප්‍රමාණය කුඩා වන විට එහි ජීවන තත්වය උසස් වේ.
☑️පරම්පරාවෙන් පැවත එන සම්ප්‍රදාය.
ඕනෑම පුද්ගලයෙකුට තම දෙමව්පියන්ගෙන් උරුම වන ජීවන තත්වයක් පවතී. එවැනි ජීවන තත්වයක් බොහොමයක් අවස්ථා වලදී කෙසේ හෝ පවත්වාගෙන යාමට කටයුතු කරයි.
☑️අධ්‍යාපනය හා කැමැත්ත.
පුද්ගලයෙකු ලබා ඇති අධ්‍යාපනය පෞද්ගලික රුචිකත්වය ආදිය මත ඔහුගේ ජීවන තත්වය තීරණය වේ. පුද්ගලයෙකුට පවුලෙන් උරුම වී ඇති ජීවන තත්වය වෙනස් කිරීමටද මෙය බලපායි. සෑම විටම පුද්ගලයෙකු උත්සහ කරනුයේ දැනට පවත්නා පරිභෝජන තත්වය එලෙසම පවත්වාගෙන යාමට හෝ එම මට්ටම ඉහළ නංවා ගැනීමයි. ඉහළ අධ්‍යාපනයක් සහිත පුද්ගලයෙකුගේ ඉපයීම් හැකියාව සාපේක්ෂව ඉහළ බැවින් ඉහළ ආදායමක් ලැබෙන අතර පරිභෝජනය ඉහළ අගයක් ගනී.
☑️සාමාන්‍ය මිල මට්ටම.
කිසියම් පුද්ගලයෙකුගේ ආදායම් ක්‍රය ශක්තිය භාණ්ඩ මිල මත තීරණය වේ. එනම් මිල පහළ ගිය විට ආදායම් ක්‍රය ශක්තිය ඉහළ යයි. එවිට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය කල හැකිවන අතර ඒ තුලින් ජීවන තත්වය උසස් වීමක් සිදුවේ. එනම් මිල මට්ටම පහළ ගිය විට මූර්ථ ආදායමේ ඉහළ යාම මීට හේතුවයි. සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිය විට ක්‍රය ශක්තිය අඩුවී පරිභෝජනය කල හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවීමෙන් ජීවන තත්වය පිරිහේ.
☑️සමාජ චාරිත්‍ර වාරිත්‍ර.
පුද්ගලයා ජීවත්වන සමාජය තුල පවත්නා චාරිත්‍ර වාරිත්‍ර අනුවද ඔවුන්ගේ ජීවන් තත්වය තීරණය වේ. බොහෝ විට විවාහ හා අනෙකුත් උත්සව ආදියේ දී පුද්ගලයන් තම සමාජ තත්වය ප්‍රදර්ශනය කිරීමට ඒවා උපරිම අයුරින් සිදුකිරීමට ක්‍රියා කිරීම තුළ ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ යයි.
🍁භාණ්ඩ හා සේවා.🍁
🌱ආර්ථික විද්‍යා විෂය පථය පුරාවටම සාකච්ඡා කරන මිනිස් අවශ්‍යා ඉටුකර ගැනීම පිළිබඳ වූ සංකල්පයේ දී භාණ්ඩ හා සේවා ඉතා වැදගත් වේ. මක් නිසාද යත් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරනු ලබන්නේ භාණ්ඩ හා සේවා මඟින් වීම නිසාය.
උදා:- සහල්, පොත්පත්, පාන්, ඇඳුම් පැළඳුම්,නිවාස ආදී භෞතික වස්තූන් භාණ්ඩ වේ.
මේවා ඍජුවම තම අවශ්‍යතා පරිභෝජනයට ගැනීමෙන් හෝ වෙනත් ආකාරයකට පරිභෝජනයට ගැනීමෙන් (ඇඳුම් හෝ පොත්පත්) මිනිස් අවශ්‍යතා ඉටුවේ.
මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ඇතැම් අවශ්‍යතා ඉටුකර ගැනීමට වෙළඳපොළෙන් මිලදී ගත්භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් නොවන බවකි. එනම් ආදරය, කරුණාව දයාව බලය වැනි අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් හැකි නොවේ. ඒ සඳහා වැදගත් වනුයේ අන්තර් පුද්ගල සබඳතාවයන්ය. නමුත් ආර්ථික කටයුතු හා මෙවැනි අවශ්‍යතා ඉටුවීම අතරද කිසියම් වක්‍ර සම්බන්ධයක් තිබිය හැක. තම හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා යම් යම් ආර්ථික භාණ්ඩ යොදාගැනීම කෙනෙකු තම දේපල ,ධනය යොදා සමාජ බලයක් ගොඩනැගීමට උත්සහ දැරීම උදාහරණ ලෙස දැක්විය හැක.
🌱මේ අනුව භාණ්ඩ යනු උවමනාවන් සැපයීමට හැකි ඕනෑම දෙයකි. සේවා යනු නිශ්චිත කාර්යයක් ඉටුකිරීමකි. නැතහොත් මිනිස් අවශ්‍යතා ඉටුකරනු ලබන අධ්‍යාපනය, වෛද්‍ය, ගුරු නීතිඥ සේවා සංගීතය රංගනය අධිකරණ සේවා යනාදියයි. සේවා මඟින් අවශයතා ඉටු කර ගැනීමේදී භෞතිනක වස්තු ඍජුවම පරිභෝජනය නොකරයි. සිදුවන්නේ කිසියම් කාර්යයක් ඉටුකිරීමකි. නමුත් සේවා සැපයීමේදී බොහෝවිට එම සේවාව සමග භාණ්ඩද යොදාගනී. උදාහරණ වශයෙන් ඉගැන්වීමේදී රටහුණූ ,කළු ලෑල්ල, ඩෙස් බංකු ආදිය ද වෛද්‍ය සේවාවේදී වෛද්‍ය නලාව, පෑන් ලිපිද්‍රව්‍ය ,ඇඳන් ආදී භාණ්ඩද ,සංගීතයේදී විවිධ වාද්‍ය භාණ්ඩද භාවිතා කරයි. එබැවින් පහසුව තකා භාණ්ඩ හා සේවා යන යෙදුම් දෙකටම භාණ්ඩ යන පදය යොදාගනී.

උසස් පෙළ අර්ථික විද්‍යාව -හතර වන කොටස -ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීම

උසස් පෙළ අර්ථික විද්‍යාව
පළමු පාඩම: අර්ථික විද්‍යාව හැදින්වීම-
හතර වන කොටස (2019/12/19)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීම🍁
🌱 මිනිස් අවශ්‍යතා :
මිනිස් අවශ්‍යතා යනු ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන් විසින් අනිවාර්යයයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන්ය. නැතහොත් මිනිස් අවශ්‍යතා යනු මිනිසා විසින් අනාගතයේදී සපුරා ගැනීමට අපේක්ෂා කරන මිනිස් සිත් තුල ඇතිවන ආශාවන්ය.
උදා:- ආහාර, ඇඳුම්, වාසස්ථාන, ආරක්ෂාව
මිනිස් අවශ්‍යතාවයන් පොදියක් ලෙස සැළකිය හැකිය. මක්නිසාද යත් මිනිසාගේ විවිධ වූ අවශ්‍යතා පවතින අතර එක් අවශ්‍යතාවයක් ඉටුකරගත් පසු තවත් අවශ්‍යතාවයක් ඇති වේ. දෙමව්පියන්ට ‌නොතිබූ අවශ්‍යතා දරුවන්ට ඇති වේ. එම අවශ්‍යතා වලින් සමහරක් ජීව විද්‍යාත්මක අවශ්‍යතා වන අතර තවත් සමහරක් ස්වාභාවික අවශ්‍යතා වේ. බොහෝ විට මිනිස් අවශ්‍යතා ලෙස ජීවත් වීමට ආහාරත් ශරීර ආවරණය කරගැනීමට වස්ත්‍රත්, දේශගුණික තත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවාසත් සලකයි. ජීවත් වීමට නම් එම මූලික අවශ්‍යතා තුනවත් අනිවාර්යයෙන්ම සපුරාගත යුතුයි.
මිනිස් සමාජයක් ක්‍රමයෙන් දියුණුවන විට මිනිසා තම මූලික අවශ්‍යතා මත පමණක් සෑහීමකට පත් නොවේ. මූලික අවශ්‍යතාවලට අමතරව ජීවිතයේ සුවපහසුව සතුට ලබාගැනීම සඳහා මිනිසා ක්‍රියා කරයි. මිනිසා ශිෂ්ටාචාර වීමේ ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ ආහාර පාන, වඩා හොඳ ඇඳුම් පැළඳුම්, සුව පහසු වාසස්ථාන ආදියට මිනිසා ඉල්ලුම් කරයි. සියලුම මිනිසුන්ගේ අවශ්‍යතා එක සමාන නොවේ. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා තීරණය වනුයේ ඒ ඒ පුද්ගලයා ජීවත්වන සමාජ ආර්ථික තත්වයන්ට සාපේක්ෂවයි. ඒ ඒ පුද්ගලයා අධ්‍යාපනය රුචිකත්වය ආදියද අවශ්‍යතා තීරණය වීම කෙරෙහි බලපායි. නූතන මිනිසා නිමක් නැති සහ නිරන්තරයෙන් වර්ධනය වන අවශ්‍යතා වලින් හෙබි දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
🌱 මිනිස් අවශ්‍යතාවයන්ගේ මූලික
ස්වරූපය(ලක්ෂණ)
මිනිස් අවශ්‍යතාවයන් පිළිබඳ සුපරික්ෂාකාරීව අධ්‍යනය කිරිමේදී ඒවායේ මූලිකව පෙනෙන ලක්ෂණ කිහිපයක් ඇතිබව පෙනී යයි. ඒ අතරින් ඉතා වැදගත් ලක්ෂණ පහත පරිදි දැක්විය හැක.
☑️මිනිස් අවශ්‍යතා අසීමිත වේ.
මිනිස් අවශ්‍යතාවයන්ගේ මූලික ලක්ෂණය වනුයේ අවශ්‍යතා නිරන්තරයෙන්ම වර්ධනය වීමයි. එක් අවශ්‍යතාවයක් ඉටුවන විට තවත් අවශ්‍යතාවයක් ඇති වේ. දෙමව්පියන්ට නොතිබූ අවශ්‍යතා දරුවන්ට ඇති වේ. එක් අවශ්‍යතාවයක් ඉටුවූ විට එම තැන ගැනීමට වෙනත් අවශ්‍යතාවයක් ඇති වේ. අවශ්‍යතා චක්‍රයක් ලෙස සැළකිය හැකිය. මක්නිසාද යත් එම අවශ්‍යතාවල ආරම්භයක් හෝ අවසානයක් දැකිය හැකි නොවේ. මිනිස් සිත සකස් වී ඇත්තේ කිසිදිනෙක සෑහීමකට පත්වන ආකාරයට නොවේ. ඔහු තව තවත් භාණ්ඩ හා සේවා වලට ලොල් වේ. ජීවිතය අවසන් වන තුරුම වුවමනාවන් පසුපස හඹායන මිනිසා ඉන් කිසි දිනෙක තෘප්තිමත් නොවේ.
☑️යම්කිසි නිශ්චිත අවශ්‍යතාවයකින් මිනිසා තෘප්තිමත් වේ.
අවශ්‍යතා සමස්ථයක් ලෙස ගත්කල සීමා රහිත වුවත්, යම් නිශ්චිත අවශ්‍යතාවයක් ගත්කළ මිනිසා ඉන් තෘප්තිමත් වේ. උදාහරණයක් වශයෙන් මිනිසෙකුට මෝටර් රථයක් අවශ්‍ය නම් එය සපුරා ගත් පසු ඔහු එයින් තෘප්තිමත් වේ. මිනිසෙකුට කුසගිනි නම් ආහාර ගැනීමෙන් පසු තෘප්තිමත් වේ. මේ ආකාරයට කිසියම් නිශ්චිත එක් අවශ්‍යතාවයක් ගත් පසු එය ඉටුකර ගැනීමෙන් මිනිසා තෘප්තිමත් වීමක් දැකිය හැක.
☑️අවශ්‍යතා අනුපූරක වීම.
එක් භාන්ඩයක් පමණක් වෙන් වශයෙන් ගත්කළ එය තනිව පරිභෝජනය කිරීම තුළින් තෘප්තිමත් වීමක් දැකිය හැක්කේ බොහෝ කලාතුරකිනි. සාමාන්‍යයෙන් එක් භාණ්ඩයකට අවශ්‍යතාවයක් ඇතිවූ විට ඒ සමඟම තවත් භාණ්ඩයක අවශ්‍යතාවයක් ඇතිවේ. උදාහරණයක් වශයෙන් දිවා ආහාරය සඳහා බත් ඛෑමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ව්‍යංජනද අවශ්‍ය වේ. ලිපියක් ලිවීමට අවශ්‍ය නම් ඒ සමඟ තීන්ත, කඩදාසි, පෑනක් ආදිය මිලදී ගැනීමට සිදුවේ. පෑනක් පමණක් ප්‍රයෝජනවත් නොවේ. යම් යම් දෑ අපහට අවශ්‍ය වන්නේ සමූහ වශයෙන් බව මෙහිදී අදහස් කරයි. එම සමූහයෙන් තනි භාණ්ඩයක් වෙන්කර ගත් විට එම භාණ්ඩයෙන් පමණක් අවශ්‍යතාවය ඉටු නොවේ. ඉඳිකටුවක් මිලදී ගත් විට නූල්ද අවශ්‍ය‌ වේ. සපත්තු පැළඳීමට මේස් අවශ්‍ය කරයි.
☑️අවශ්‍යතා තරඟකාරී වීම
අපට අවශ්‍යතා‌ සපුරා ගැනීමට ඇති ගැනීමට මුදල් ප්‍රමාණය සීමිත වේ. එබැවින් අප එක් භාණ්ඩයක් තේරීමේදී වෙනත් භාන්ඩයක් සමඟ තරඟකිරීමක් සිදුවේ. එනම් මිලදී ගන්නේ කුමන භාණ්ඩයද, සපුරා ගන්නේ කුමන අවශ්‍යතාවයද, ප්‍රතික්ෂේප කරනුයේ කුමන වුවමනාවක්ද යන්න තීරණය කිරීමට සිදුවේ. මින් පැහැදිලි වන්නේ අපට මිලදී ගත හැකි විවිධ දෑ අතර, තරඟයක් පවතින බවයි.
☑️ඇතැම් අවශ්‍යතා අනුපූරක වනවා මෙන්ම තරඟකාරීද වේ.
මෙයින් අදහස් කරනුයේ කිසියම් භාණ්ඩ වර්ග දෙකකින් එකක් තෝරා ගැනීමේදී අනෙක් භාණ්ඩය කැප කිරීමට සිදුවන බව මෙන්ම කිසියම් සීමාවකින් පසුව අදාළ භාණ්ඩ දෙකම අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍යවන බවයි. උදා :- මිනිස් ශ්‍රමය හෝ යන්ත්‍ර යොදාගෙන කිසියම් නිෂ්පාදකයෙකුට භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි වේ. කිසියම් සීමාවක් දක්වා යන්ත්‍ර වෙනුවට ශ්‍රමය ආදේශ කළ හැක. එවැනි තත්වයකදී යන්ත්‍ර සහ ශ්‍රමය අතර තෝරා ගැනීමේදී තරඟකාරීත්වයක් පවතී. නමුත් කිසියම් සීමාවකින් පසු යන්ත්‍ර පමණක් හෝ ශ්‍රමය පමණක් භාවිතයෙන් නිෂ්පාදනයක් සිදුකළ නොහැකි වේ. එවිට එම සාධක් දෙකම අවශ්‍ය වේ. එනම් එම අවශ්‍ය සාධක දෙක සම්බන්ධයෙන් අනුපූරක අවශ්‍යතාවයක් ඇතිවේ.
☑️අවශ්‍යතා තෝරා ගත් හැකිය
මින් අදහස් වනුයේ කිසියම් අවශ්‍යතාවයක් ගත් කල එය තෘප්තිමත් කිරීමට පරාභෝජනය කළ හැකි භාණ්ඩ වර්ග කිහිපයක් පවතින බවකි. නිදසුනක් වශයෙන් ශිත කාලයේ දී පිපාසය දැනෙන විට තේ, කෝපි හෝ උණු කිරි භාවිතා කළ හැකි වේ. උණුසුම් කාලයේ දී පිපාසය දැනෙන විට ශීත කළ බීම වරිගයක් හෝ ශීත කල ජලය හෝ පරිභෝජනය කළ හැකි වේ. එනම් එක් එක් කාල වකවානු වලදී අවශ්‍යතා සපුරා ගැනීමට පවත්නා භාණ්ඩ වර්ග කිහිපයක් අතුරින් කිසියම් භාණ්ඩයක් තෝරා ගත් හැකි බවයි. නමුත් අවසාන තේරීම රඳා පවතිනුයේ පුදුගලයා සතු ආදායම සහ විවිධ භාණ්ඩවල සාපේක්ෂ මිල ගණන් මතයි.
☑️අවශ්‍යතා කාලය, ස්ථානය හා පුද්ගලයා අනුව වෙනස් වේ.
අවශ්‍යතා සෑම පුද්ගලයෙකුටම එක සමාන නොවේ. විවිධ පුද්ගලයන්ට විවිධ අවශ්‍යතා පවතින අතර එකම පුද්ගලයාට ද විවිධ කාල වලදී විවිධ අවශ්‍යතා පවතී. එසේම විවිධ ස්ථානවලදී ද විවිධ අවශ්‍යතා පවතී.
☑️අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් පවතින ඉක්මන් භාවය එකිනෙක අවශ්‍යතා සම්බන්ධයෙන් එකිනෙකට වෙනස්ය.
සියලු අවශ්‍යතා ඒකාකාරයෙන්ම ඉක්මන් නොවේ. අවශ්‍යතාවයේ තරමද එකිනෙකට වෙනස් වේ. ඇතැම් උවමනා ඉක්මන් සහ බලවත් ඒවයි. සාමාන්‍යයෙන් එවැනි බලවත් සහ හදිසි උවමනා ඉක්මනින් සපයා ගත යුතු අතර අනෙක් ඒවා සපුරා ගැනීම කල් දැමිය හැක.
☑️ශිෂ්ටාචාර වීමත් සමඟ අවශ්‍යතා වැඩිවීම.
මිනිසුන් තුළ ශිෂ්ටාචාරය වැඩිවත්ම ඔවුන්ගේ වුවමනාද වැඩි වේ. ග්‍රාමීය ප්‍රදේශවලට සාපේක්ෂව නාගරික ජනතාවගේ අවශ්‍යතා වුවමනා වැඩිවන්නේ ඒ නිසාය. ශිෂ්ටාචාරය වැඩිදියුණු වත්ම සිනමාව, රූපවාහිනිය, ගුවන් විදුලිය, පරිගණක වැනි අනෙකුත් නවීන අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම වැඩි වේ. ඇමරිකාවේ ජනතාවට සාපේක්ෂව ලංකාවේ ජනතාවගේ උවමනා අඩුවන්නේ ඒ නිසාය.
☑️අවශ්‍යතා නැවත ඇතිවීම
මිනිස් අවශ්‍යතා බොහෙමෙයක් නැවත ඇතිවන ආකාරයේ ඒවාය. බොහෝවිට ආහාර සඳහා පවතිනුයේ මෙවැනි තත්වයකි. දෛනිකව මෙන්ම මාසිකවද මෙවැනි අවශ්‍යතා ඇතිවන අතර ඒවා තෘප්තිමත් කරගත යුතු වේ.
☑️අවශ්‍යතා පුරුදු බවට පත් වේ.
කිසියම් පුද්ගලයෙකු විසින් කිසියම් උවමනාවක් නොනවත්වාම තෘප්තිමත් කරන්නේ නම් එය පුරුද්දක් බවට පත්වේ. එවිට ඔහු නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක් දිනපතා හෝ සතිපතා හෝ මාස්පතා පරිභෝජනය කරයි.
උදා:- මත්පැන් හෝ දුම්වැටි පරිභෝජනය
☑️අලෙවි උපක්‍රම/ ප්‍රචාරණය/ ආදායම, උවමනා කෙරෙහි බලපායි.
අප නිතරම මිලදී ගන්නේ අපට අවශ්‍ය දේ නොවේ. වඩා හොඳ විකල්ප තිබුණද තියුනු ප්‍රචාරණය, විශේෂ වෙළඳ ලකුණු ආදිය මගින් අපව අපගේ මූලික මිලදී ගැනීමේ අරමුණින් ඈත් කරනු ලබයි.
☑️සිරිත් විරිත් හා සම්මතයන් මඟින් වුවමනා පාලනය කිරීම.
කිසියම් ප්‍රදේශයක වාසය කරන පුද්ගලයන් සියලුම දෙනා සිරිත් විරිත් වලින් පාලනය වේ. උවමනාවන් බොහොමයක් සිරිත් විරිත් වලට යටත්ව සපුරා ගැනීමක් දැකිය හැකි වේ. එසේම ඇතැම් වුවමනාවන් සපුරා ගැනීමට සිදුව ඇත්තේ සම්මතයන්ට යටත්වයි. ඒවා ඉටුකර ගැනීමට බල කරනුයේ සමාජ සම්මතය මඟිනි. මිනිසුන් උත්ස්ව වෙනුවෙන් විශාල මුදල් වියදම් කරන්නේ ඒ නිසාය.
☑️වර්තමාන උවමනා අනාගත වුවමනා වලට වඩා වැදගත් වීම.
බොහෝ විට මිනිසා මුලින්ම සපුරා ගනු ලබනුයේ වර්තමාන උවමනා යි. අනෙක් වුවමනා පිළීබඳ එතරම් සැලකිල්ලක් නොකර වර්තමාන පරීභෝජන අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරයි. අතීතය පිලබඳව අවිනිශ්චිත මෙන්ම පුරෝකථනය කල නොහැකි තත්වයක් පවතී. එබැව්න් මිනිසා විසින් ඉතා ඉක්මනින් සපුරා ගතයුතු වර්තමාන අවශ්‍යතා සපුරාගැනීමට කටයුතු කරයි.
🌱 ️ආර්ථික විද්‍යාවේදී සලකා බැලෙන සහ
සලකා නොබැලෙන අවශ්‍යතා :
ආර්ථික විද්‍යාවේදී සලකා බලනුයේ භාණ්ඩ හා සේවා නිශ්පාදනය මඟින් සපුරාලිය හැකි අවශ්‍යතා පමණි. නැතහොත් භාණ්ඩ හා සේවා සම්පාදනයේ සපුරාලිය හැකි අවශ්‍යතා පමණි.
උදා :- මිනිසාගේ ආහාර, නිවාස, ඇඳුම්, සුව සේවා වැනි අවශ්‍යතා
ආර්ථික විද්‍යාවේදී සලකා නොබලන්නේ භාණ්ඩ හා සේවා සම්පාදනය මඟින් සපුරාලිය නොහැකි අවශ්‍යතාවයන්ය. එනම් ඇතැම් අධ්‍යාත්මික හා සමාජීය අවශ්‍යතාවයන්ය.
උදා:- ආදරය, දයාව , බලය, වැනි කරුනු සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාවේ දී සලකා බලනු නොලැබේ.
🍁අවශ්‍යතා සපුරාගැනීම හා ජීවන තත්වය🍁
ජීවන තත්වය පිලිබඳ ව සළකා බලනුයේ කිසියම් රටක ජනතාවට පරිභෝජනය කිරීමට ලැබෙන භාන්ඩ හා සේවා වන්ගේ ප්‍රමාණාත්මක , ගුණාත්මක බව අනුවයි. එනම් ජීවන තත්වය තීරණය වනුයේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා මට්ටම අනුවයි. ඇමරිකාව, ස්විස්ටර්ලන්තය වැනි රටවල්වල පුද්ගලයින් ලබන ඒක පුද්ගල ආදායම ඉහළ අගයක් ගනී. එබැවින් එවැනි රටක පුද්ගලයෙකුට වැඩි ගුණත්වයකින් යුතු භාන්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට හැකි වේ. එබැවින් එවැනි රටක ජනතාවගේ ජීවන තත්වය උසස් වේ. මේ අනුව පැහැදිලි වනුයේ ජීවන තත්වය තීරණය වනුයේ පරිබෝජනය මත බවයි.
🌱 පරිභෝජනය යනු,
පරිභෝජනය යනුවෙන් සරලව අප අදහස් කරනුයේ භාණ්ඩ හා සේවා යොදාගැනීමෙන් අපගේ වුවමනා සපුරා ගැනීමයි. භාන්ඩයක් පරිභෝජනය කිරීමෙන් තෘප්තියක් නැතහොත් උපයෝගීතාවයක් ලැබේ. ඒ අනුව පරිබෝජනය කරනවා යනු උපයෝගිතාවයක් භුක්ති විඳීමකි. කුසගින්නට ආහාර ගැනීමේදී සිදුවනුයේ ආහාර පරිභෝජනයකි. රෝගීවූ විට ප්‍රතිකාර ගැනීම යනු වෛද්‍ය සේවය පරිභෝජනය කිරීමකි. මේ අනුව අපගේ උවමනාවන් තෘප්තිමත් කරගැනීමට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් පරිහරනය කිරීම පරිභෝජනය වේ. මේ අනුව පරිභෝජනය යනු උවමනා තෘප්තිමත් කිරීම හා සම්බන්ධ කාර්යයක් වේ. ඕනෑම භාණ්ඩයක් ගත්විට එහි පරිභෝජනය ක්‍රමයෙන් වැඩිකිරීමේදී ඉන් ලැබෙන උපයෝගීතාවය /ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් අඩුවේ. එනම් කිසියම් උපරිමයකින් අදාළ භාණ්ඩය පරිබෝජනය කිරීමේදී උපයෝගීතාවය ශූන්‍ය විය හැක. එබැවින් පරිභෝජනය යනු උපයෝගීතාවය විනාශ කිරිමක් ලෙසද හැඳින්විය හැක.
මෙය තවත් ආකාරයකින් පැහැදිලි කළ හැක. නිදසුනක් වශයෙන් කිසියම් පුද්ගලයෙකු අඹ ගෙඩියක් අනුභව කරන්නේ නම් ප්‍රථමයෙන්ම සිදුවනුයේ එම අඹ ගෙඩියේ ස්වරූපය වෙනස් කිරීමකි. ප්‍රථමයෙන්ම අඹ ගෙඩිය මිනිස් උවමනාවන් තෘප්තිමත් කළ අතර ඉන් පසු එහි අවශ්‍යතා‌ තෘප්තිමත් කිරීමේ හැකියාව පලාගොස් ඇත. තවත් ආකාරයකින් කියන්නේ නම් අඹ ගෙඩිය අනුභව කිරීමෙන් පසු එහි උපයෝගීතාවය විනාශ කර ඇත.
පරිභෝජනයේදී උපයෝගීතාවය විනාශ වීම ඉතා ඉක්මනින් මෙන්ම ඉතා සෙමින් ද සිදුවිය හැක. ආහාර පරිභෝජනයේදී බොහෝවිට සිදුවනුයේ ක්ෂණිකව උපයෝගීතාවය විනාශ වීමකි. නමුත් වාහන පරි‌භෝජනය, ගෘහ භාණ්ඩ පරිභෝජනය ආදියේ සිදුවනුයේ ඉතාමත් සෙමින් උපයෝගීතාවය විනාශ වීමකි. නමුත් උපයෝගීතාවය විනාශ වීම පමණක්ම පරිභෝජනය ලෙස සැළකිය හැකි නොවේ. මක් නිසාද යත් කිසියම් භාණ්ඩයක් පරිභෝජනය නොකර විනාශ වීමකදී පවා උපයෝගීතාවය විනාශ වීමක් වන හෙයිනි. මෝටර් රථයක් හෝ නිවසක් ගින්නකින් විනාශවීමේදී සිදුවනුයේද පරිබෝජනය විනාශ වීමකි. එහිදී අවශ්‍යතා තෘප්තිමත් කිරීමක් සිදුනොකරයි. එබැවින් උවමනා තෘපතිමත් වීමත් සමඟ උපයෝගීතාවය විනාශ වීම පරිභෝජනය ලෙස දැක්විය හැක. එබැවින් උවමනා තෘප්තිමත් වී නැත්නම් එය පරිභෝජනය නොවේ.
පරිභෝජනය යන්නෙන් ප්‍රායෝගික ව්‍යවහාරයේදී අදහස් කරනුයේ මුදල් වියදම් කිරීමකි. අප පරිබෝජනය කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ආදිය සඳහා ගෙවීමක් කල යුතුයි. ඒ සඳහා මුදල් වියදම් කළ යුතුයි. ඒ අනුව පරිභෝජනය යන්න මිනිසා සතු ධනය පරිභෝජනයට ගන්නා අවස්ථාවන් හා සම්බන්ධ වන ක්‍රියාවක් බව පැහැදිලි වේ.
🌱 පරිබෝජනයේ විවිධ ආකාර
කිසියම් භාණ්ඩයක් විසින් මිනිස් අවශ්‍යතා ඉතා ඉක්මනින් ඉටුකරයි නම් එය ඍජු පරිභෝජනය ලෙස හඳුන්වයි. නැතහොත් අවසන් පරිභෝජනය ලෙස හඳුන්වයි.
උදා:- පුද්ගලයෙකු සපත්තු කුට්ටමක් පැළඳීම, මාලයක් පැළඳීම, කමිසයක් ඇඳීම
නමුත් කිසියම් භාණ්ඩයක් යොදා ගනුයේ මිනිස් අවශ්‍යතා ඍජුවම සපුරාලිය හැකි භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට නම් එකී භාණ්ඩයට ඇත්තේ වක්‍ර පරිභෝජනයකි.
උදා:- වෙළඳසැලක පරිහරණයට ශීතකරණයක් මිලදී ගැනීම, ලීබඩු කර්මාන්තශාලාවකට නව ලී යතු ගෑමේ යන්ත්‍රයක් මිලදී ගැනීම
ගින්න, ස්වාභාවික උවදුරු, භූ කම්පා ආදිය මඟින් භාණ්ඩ විනාශවී යාම නාස්තිකාරී පරිභෝජනයක් ලෙස හඳුන්වයි.
🌱 පරිභෝජනයේ වැදගත්කම :
☑️පරිභෝජනය යනු සියලුම ආර්ථික කටයුතු වල ආරම්භය මෙන්ම අවසානයයි.
මිනිසෙකුට ආශාවක් ඇතිවූ විට එය තෘප්තිමත් කරගැනීමට කටයුතු කරන අතර එහි ප්‍රතිඵලය අවශ්‍යතාවය ඉටුකරගැනීමට හැකිවීම තුළින් තෘප්තිමත් වීමකි. ඇත්ත වශයෙන්ම මුළු මහත් ආර්ථික කටයුතු වල අවසාන අරමුණ වනුයේ පරිභෝජනයයි. නිෂ්පාදකයා අභිප්‍රේරණය වනුයේ පරිභෝජනය තුළින් වීම නිසා නිෂ්පාදනය, පරිභෝජනය, මඟින් මෙහෙයවූ ක්‍රියාවලියක් වේ.
☑️නිෂ්පාදනයේ පරිමාව හා දිශාව පාලනය කිරීම
නිෂ්පාදන කටයුතු වැඩිදියුණු වී නිෂ්පාදනය ව්‍යාප්ත වනුයේ පාරිභෝගිකයා තෘප්තිමත් වන්නේ නම් පමණි. නමුත් කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයා තෘප්තිමත් නොවේ නම් එවැනි භාණ්ඩයක නිෂ්පාදනය වර්ධනය නොවේ.
☑️ආර්ථික කටයුතුවල ප්‍රගතියට හේතු වීම
රටක උවමනා වැඩිවීම ආර්ථික ප්‍රගතියට හේතු වේ. මක්නිසාද යත් උවමනා ඉහළ යාම තුළින් නිෂ්පාදනය වර්ධනය වීමට හේතු වීමයි. උවමනා වැඩිවීමත් ආර්ථික ප්‍රගතියත් එකිනෙකට සමීපව හැසිරෙන ක්‍රියාවන්ය. නිෂ්පාදකයින් සෑමවිටම උත්සහ දරනුයේ පාරිභෝගිකයන් උපරිම වශයෙන් තෘප්තිමත් කිරීමට, වඩා ලාභදායී හා යෝග්‍ය ක්‍රම සොයාගැනීමයි. එය නව නිෂ්පාදන ශිල්ප ක්‍රම නව යන්ත්‍ර සූත්‍ර ආදිය සොයාගැනීමට ඉවහල් වන අතර ආර්ථිකය තුළ තාක්ෂණය දියුණු වීමට ද හේතු වේ. බොහෝ විට සිදුවනුයේ එක් උවමනාවක් තෘප්තිමත් කිරීමට කටයුතු කිරීමේදී තවත් උවමනාවක් ඇතිවීමයි.
☑️හුවමාරුව කෙරෙහි බලපෑම් කිරීම
පරිභෝජනයේ බලපෑම ආර්ථිකයේ සියලුම අංශවල දැකිය හැක. කුමන භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේද යන්න පාරිභෝගිකයා තීරණය කරනුයේ එහි මිල අනුවයි. ඒ අනුව කිසියම් භාණ්ඩයක මිල වෙළඳ පොළ තුළ මිල තීරණය වනුයේ අදාළ භාණ්ඩයට පවත්නා ඉල්ලුම අනුවයි. කිසියම් භාණ්ඩයක පවතින මිල අඩුනම් ඉල්ලුම වැඩිවී හුවමාරුව ඉහළ යයි. ඉල්ලුම් කරනුයේ පරිභෝජනයට බැවින් පරිබෝජනයක් නොමැති නම් හුවමාරුවක්ද සිදුනොවේ. එසේම ආර්ථිකයේ එක් එක් අංශ එනම් ශ්‍රමිකයින්, දේපළ හිමියන් ව්‍යාපාරිකයන් අතර ආදායම් ව්‍යාප්තිය තීරණය වනුයේ ද ඒ එක් එක් පන්තියේ පරිභෝජනය අනුවයි. ඒ අනුව ඔවුන්ගේ ජීවන තත්වය තීරණය වේ. මේ අනුව පරිභෝජනය ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි බලපාන අතර එය ආර්ථිකයේ ප්‍රගතියට දායක වේ.
🍁 දුගී බව :
දුගී බව යනු යම්කිසි සමාජයක යම්කිසි ජන කොටසකට ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වත් සපුරා ගැනීමට නොහැකි වීමයි. එවිට ඒ ජන කොටසේ ජීවන තත්වය ඉතා පහත් මට්ටමක පවතී. මෙවැනි දුගී බවින් පෙළෙන ජන කොටස් ඉවත් කිරීමට රජය සහනාධාර සැපයිය යුතුයි.
🌱 මිනිස් වුවමනා බිහිවීමට බලපාන කරුණු:
🔹වෙලඳ ප්‍රචාරණය
🔹සමාජ පරිසරය
🔹ජනමාධ්‍ය බලපෑම
🔹තාක්ෂණික දියුණුව
🔹ශාරීරික හෝ මානසික හේතු
🔹ආදායම
🌱 යැපුම් අවශ්‍යතා :
යනු පුද්ගලයෙකුට සිය ජීවිතය පවත්වා ගැනීමට අදාළ වන අවශ්‍යතාවයන්ය. ප්‍රාථමික සෞඛ්‍ය, ආහාර වැනි දෑ ඒ අතර වේ. යැපුම් අවශ්‍යතා සපුරාගත නොහැකි වීම අන්ත දුගී බව වේ. බොහෝ විට මෙවැනි ජන කොටස්වල දිනක ආදායම ඇමරිකානු ඩොලර් එකකටත් වඩා අඩු අගයකි. (2016- 4.1%)
🌱 මූලික අවශ්‍යතා :
මූලික අවශ්‍යතා යනු අවම ජීවන තත්වයක් පවත්වා ගැනීමට අවශ්‍ය දෑයි. ඒ අතර අවම ජීවන තත්වයකට ගැලපෙන ආහාර හා පෝෂණය සෞඛ්‍ය අධ්‍යාපනය නිවාස ආදී දෑ වේ. මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි බව දුගී බව වේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව 2016 වසරේ ගනණය කල දුගී බවින් පෙළෙන ජනයා මුළු ජනගහන‌යෙන් 4.1% කි. එවැනි මූලික අවශ්‍යතා කිහිපයක් පහත දැක්වේ.
🔹අවම කැලරි අවශ්‍යතාවයක් ලබාදෙන
ආහාර
🔹අවම ඇඳුම් පැළඳුම්
🔹ජීවත්වීමට සුදුසු නිවසක් (මනා ඉඩකඩ
වාතාශ්‍රය සහිත)
🔹ජලය, සනීපාරක්ෂාව සහ ප්‍රාථමික සෞඛ්‍ය 🔹සේවා පහසුකම්
🔹පාසල් අධ්‍යාපානය
🌱 ද්විතීය අවශ්‍යතා :
ලෙස සලකන්නේ ඉහළ ජීවන තත්වයකට බලපාන අවශ්‍යතාවයන්ය. මෙම ද්විතිය අවශ්‍යතා කාලය, ප්‍රදේශය, පුද්ගලයන් අනුව වෙනස් වනු ඇත.
උදා:- ශ්‍රී ලංකාවට ද්විතියික වන අවශ්‍යතාවයන් ඇමරිකාවට මූලික අවශ්‍යතාවයන් විය හැක. (මෝටර් රථයක්, දුරකථනයක්)
🍁 ජීවන තත්වය :
කිසියම් පුද්ගලයෙකු පරිභෝජනය කරන අත්‍යවශ්‍ය සුඛෝපභෝගී හෝ පහසුව ගෙන දෙන උවමනාවන් තෘපතිමත් කිරීමට අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් සලකා බලමින් ජීවන තත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කල යුතුයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් ජීවන තත්වය යනු කිසියම් ජන කොටසකගේ පරිභෝජනයේ ප්‍රමානාත්මක හා ගුණාත්මක තත්වයයි. කිසියම් පුද්ගලයෙකුට ඉතා ඉහළ පෝෂණයෙන් යුතු භාණ්ඩ තොගයක් පරිභෝජනය කිරීමට හැකි නම් එවැනි පුද්ගලයෙකුගේ ජීවන තත්වය උසස් වේ. ඇමරිකාව, ස්වීඩනය ,කැනඩාව වැනි රටවල ජනතාවගේ ජීවන තත්වය අනෙකුත් අප්‍රිකානු රටකට සාපේකෂව ඉතා ඉහළ වේ. ඊට හේතුව එවැනි රටක ජනතාවට පරිභෝජනය කල හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉතා ඉහළ වීමයි. කිසියම් පුද්ගලයෙකු කිසියම් භාණ්ඩයක් දිගුකාලයක් තිස්සේ පරිභෝජනය කිරීම තුලින් එය පුරුද්දක් බවට පත්වේ. එවැනි ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් නැවත ඉල්ලුම් කරයි. එම භාණ්ඩය ඔහු සතුටට පත් වේ. එවැනි දෑ ඔහුගේ දෛනික අවශ්‍යතා ලෙස සලකන අතර එසේ ගනු ලබන භාණ්ඩ සේවා ප්‍රමාණය හා ඒවායේ ගුණාත්මක භාවය ජීවන තත්වය ලෙස සැලකිය හැක. මේ අනුව ආහාර ඇඳුම් පැළඳුම් වාසස්ථාන විනෝදාස්වාදය ආදී වශයෙන් පරිභෝජනය කරන සියලුම භාණ්ඩ තුළින් ඔහුගේ ජීවන තත්වය තීරණය වේ.
ඉතාම සරලව කියන්නේ නම් කිසියම් පුද්ගලයෙකු ජීවත්වන ආකාරය තුළින් ඔහුගේ ජීවන තත්වය නිරෑපණය වේ. පුද්ගලයෙකුගේ ජීවන තත්වය තීරණය වනුයේ අදාළ පුද්ගලයා මතම නොවේ. නැතහොත් එම පුද්ගලයාගේ ඕනෑ එපාකම් මතම නොවේ.
❤සුභ දවසක්...තවත් කොටසකින් හමුවෙමු..❤