Tuesday, December 31, 2019

උසස් පෙළ අර්ථික විද්‍යාව - හත් වන කොටස-භාණ්ඩ වර්ගීකරණය

උසස් පෙළ අර්ථික විද්යාව
පළමු පාඩම: අර්ථික විද්යාව හැඳින්වීම-
හත් වන කොටස (2019/12/26)
~~~~~~~~~~~~~~~~~~~~~~
🍁භාණ්ඩ වර්ගීකරණය🍁
භාණඩ ප්රධාන අකාර දෙකකට වර්ග කල හැකිය.එනම්;
🌱 ආර්ථික භාණ්ඩ
🌱 ආර්ථික නොවන භාණ්ඩ; වශයෙනි.
🌱 ආර්ථික භාණඩ:
ආර්ථික භාණ්ඩ නැවත ප්රධාන කොටස් දෙකක් යටතේ වර්ග කල හැකිය.එනම්; උපයෝජනය හා මූලාශ්රය අනුව ය.
🍂උපයෝජනය අනුව(කොටස් දෙකකි)
-පාරිභෝගික භාණ්ඩ
-නිෂ්පාදන භාණ්ඩ(කොටස් දෙකකි)
🔹ප්රාග්ධන භාණ්ඩ
🔹අන්තර් භාණ්ඩ
🍂මූලාශ්රය අනුව(කොටස් තුනකි)
🔹-කෘෂි භාණ්ඩ
🔹-කාර්මික භාණ්ඩ
🔹-සේවා
🌱 ආර්ථික භාණ්ඩ
ආර්ථික භාණ්ඩයක් යනු නිෂ්පාදනයේ දී සම්පත් පිරිවැයක් දැරීමට සිදුවන මිනිස් අවශ්යතාවයන් සපුරාලන භාණ්ඩයි. මේ අනුව ආර්ථික භාණ්ඩයක එකවිට පැවතිය යුතු ලක්ෂණ දෙකක් පවතී. එනම්;
🔹මිනිස් උවමනාවන් සැපිරිම.
🔹නිෂ්පාදනයේ දී සම්පත් පිරිවැයක් තිබීම.
මේ අනුව ආර්ථික භාණ්ඩ වල පවතින විශේෂම ලක්ෂණය නිශ්පාදන පිරිවැය යි. ඊට අමතර ව ඒවා සාපේක්ෂ ව හිඟතාවයකින් යුක්ත වේ. ආවස්ථික පිරිවැයක් ද පවතී.
උදා -: මෝටර් රථ, නිවාස, පොත්පත්, ආහාර, ඇඳුම් පැලඳුම් වැනි ඕනෑම සම්පත් පිරිවැයක් ඇති භාණ්ඩයක් හෝ භාණ්ඩ / සේවාවක් හෝ සේවාවන්.
🌱 ආර්ථික භාණ්ඩවල ලක්ෂණ
🔹මිනිස් අවශ්යතා ඉටු කිරීම
එනම් ආර්ථික භාණ්ඩ පරිභෝජනය කිරීම තුළින් මිනිසාට තම උපයෝගීතාවයන් තෘප්තිමත් කරගත හැකි බව යි.
නිදසුන් -: නිවාස, රූපවාහිනිය, ගෘහ භාණ්ඩ පරිභෝජනය කිරීම
🔹සම්පත් පිරිවැයක් දරා තිබීම
ආර්ථික භාණ්ඩ ඉබේ නිර්මාණය වීමක් සිදුනොවේ. ඒවා කිසියම් හිඟතාවයක් ඇති ආර්ථික සම්පත් උපයෝජනය කරගනිමින් මිනිසා විසින් නිර්මාණය කළ යුතුයි. එවිට ඒ සඳහා කිසියම් පිරිවැයක් ආදේශ වීමක් සිදු වේ. එනම් නිදසුනක් වශයෙන් නිවසක් සාදන්නේ නම් ඒ සඳහා යොදා ගන්නා නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවීම් කළ යුතු ය. එහි දී වැටුප්, බදු කුලී, පොළී හා ලාභ වශයෙන් සාධක වියදමක් බිහිවීම නිසා ආර්ථික භාණ්ඩ වල සම්පත් පිරිවැයක් පවති.
🔹සැපයුම් සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට තීරණ ගත හැකි වීම.
එනම් ආර්ථික භාණ්ඩ මිනිසා විසින් නිෂාපදනය කරන බැවින් ඒවායේ සැපයුම අඩු කරන්නේ ද, නැතහොත් වැඩිකරන්නේ ද යන්න පිළබඳ ව අදාළ සැපයුම් කරනු ලබන පුද්ගලයාට හෝ ආයතනයට තීරණය කළ හැකි වේ.
උදා -: බේකරි හිමියකුට අවශ්ය නම් පාන් සැපයුම වැඩි කළ හැක. නැතහොත් අඩුකළ හැක. OPEC සංවිධානයට අවශ්ය නම් ඛනිජ තෙල් සැපයුම අඩු කළ හැක. නැතහොත් වැඩි කළ හැක.
🔹ආවස්ථික පිරිවැයක් තිබීම.
ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කිරීමට නිෂ්පාදන සම්පත් භාවිතා කරයි. එවිට එම සම්පත් යොදා ගෙන නිපදවිය හැකිව තිබු වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් කැප කිරීමට සිදු වේ. එසේ කැපකරන ලද භාණ්ඩයේ හෝ සේවාවේ හෝ වටිනාකම අදාළ නිෂ්පාදනයේ ආවස්ථික පිරිවැය යි. සෑම ආර්ථික භාණ්ඩයකටම ආවස්ථික පිරිවැයක් පවතී. නිදසුනක් වශයෙන්, රෙදි තොගයක් කලිසම් නිෂ්පාදනයට යෙදූවිට කම්ස නිෂ්පාදනය කැපකිරීමට සිදු වේ. එවිට කලිසම්, නිෂ්පාදනයේ ආවස්ථික පිරිවැය වනුයේ කැපකරන ලද කම්ස නිෂ්පාදනයේ වටිනාකමයි.
🔹නිෂ්පාදන ක්රියාවලියක් බිහිවීම
ආර්ථික භාණ්ඩයක් බිහිවනුයේ කිසියම් පුද්ගලයකුගේ තීරණ ක්රියාත්මක කිරීමේ ප්රතිඵලයක් ලෙස යි. එනම් කිසිවකු හෝ අදාළ භාණ්ඩය නිෂ්පාදනය පිළිබඳ ව තීරණය ගෙන එය ක්රියාත්මක කළ විට යි. නිදසුනක් ලෙස පාන් නිෂ්පාදන කර්මානතයේ දී පිටි ඇනීම, තැටි වලට දැමීම, පෝරණුවට ඇතුල් කිරීම, පාන් ඇහිරීම, බෙදා හැරීම ආදී නිෂ්පාදන ක්රියාවලියක් පවති.
මෙසේ නිෂ්පාදනය පිළිබඳ ව තීරණ ගෙන ඒවා ක්රියාත්මක කරනු ලබන්නේ ව්යවසායකයින් විසිනි. මේ අනුව රටක භාණ්ඩ නිෂ්පාදන ක්රියාවලියක් බිහිවීම සඳහා අවශ්ය මුලික සාධකයක් වනුයේ ව්යවසායකත්ව කාර්යය යි. ව්යවසායකයින් භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ ව සලකා බැලීමේ දී ප්රධාන සාධක තුනක් පිළිබඳව සලකා බලයි. එනම් භූමිය, ශ්රමය හා ප්රාග්ධනයයි.
🔹හිමිකමක් ප්රකාශ කළ හැකි වීම(අයිතියක් ප්රකාශ කල හැකි වම)
🍁ආර්ථික නොවන භාණ්ඩ / අමූල්ය භාණ්ඩ /පිරිවැය රහිත භාණ්ඩ / නිදහස් භාණ්ඩ / නොමිල භාණ්ඩ / Free Goods🍁
🍂මිනිස් ජීවිතයට අවශ්ය ඇතැම් භාණ්ඩ නොමිලේ ලැබේ. එනම් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිදහසේ ලැබේ. එහි දී පිරිවැයක් දැරිමට සිදුනොවේ. එනම් සැපයුමක් පවතින අවස්ථාවේ දී එම භාණ්ඩ පිරිවැයකින් තොරව නොමිලේ පරිභෝජනය කළ හැකි වේ. මේ නිසා නොමිලේ භාණ්ඩ සැපයුමක් පවතින අවස්ථාවේ දී පිරිවැයක් රහිතව නොමිලේ ලබා ගත හැකි “භාණ්ඩ” ලෙස හැදින්විය හැක. මිනිසාගේ ඉතාමත් වැදගත් අවශ්යතා කිහිපයක් එමඟින් ඉටු වේ.
උදා -: හිරු එළිය, වැසි ජලය, ඔක්සිජන් වාතය, සඳ එළිය
🍂බොහෝවිට නොමිල භාණ්ඩ හිඟයකින් තොරව අසීමිත ලෙස ලබා ගත හැකිය (පරිභෝජනය කළ හැකිය.) යන්න අදහස් කරයි. නමුත් යමක් අසීමිත ලෙස ලබා ගැනීමට නම් එහි අසීමිත සැපයුමක් තිබිය යුතුයි. අවශ්ය කරන ඕනෑම වේලාවක එය ලබාගත හැකි විය යුතුය. නමුත් හිරු එළිය දවස පුරාම නැත. එමෙන් ම ඇතැම් රටවලට හිරු එළිය ඇත්තේ වසරේ මාස කිහිපයකට පමණි. වර්ෂාව අපට අවශ්ය ඕනෑම වේලාවක ලබාගත නොහැක. එසේම සඳ එළිය ද අවශ්ය ඕනෑම විටක නොපවතී. එබැවින් මෙවැනි භාණ්ඩ සම්බන්ධයෙන් වඩා හොඳ නිර්වචනය විය යුත්තේ සැපයුමක් පවතින අවස්ථාවේ දී පිරිවැයක් රහිත ව ලබාගත හැකි භාණ්ඩ යන්න යි. එසේ නොමැතිව අසීමිත ව ලබාගත හැකිය යන්න නොවේ.
🍁නොමිල භාණ්ඩවල මූලික ලක්ෂණ🍁
🔹මිනිස් අවශ්යතා ඉටුකිරීම
ආර්ථික භාණ්ඩ වලින් මෙන්ම නොමිල භාණ්ඩ මගින් ද මිනිස් අවශ්යතා ඉටු කරයි.
උදා -: හිරු එළියෙන් රෙදි වේලා ගැනීම, ඔක්සිජන් වාතය ආශ්වාස කිරීම, වැසි ජලයෙන් රෙදි සේදිම
🔹සම්පත් පිරිවැයක් නොමැති වීම
එනම් නොමිල භාණ්ඩ කිසිදු සම්පත් පිරිවැයකින් තොරව ලැබෙන බව යි. නොමිල භාණ්ඩ කිසියම් පුද්ගලයකුගේ නිෂ්පාදන පිළිබඳ තීරණයක් නොවේ. ඒවා ස්වභාවික ය. එබැවින් කිසිදු සම්පත් පිරිවැයක් නොදර යි. නොමිලේ ලැබෙයි. එනම් කිසිදු නිෂ්පාදන සාධකයක් භාවිතා කිරීමක් හෝ ඒ සඳහා ගෙවීමකින් තොර ව ලැබෙයි.
🔹ආවස්ථික පිරිවැයක් නොමැති වීම
කිසිදු නිශ්පාදන සාධකයක් භාවිතා කිරීමකින් තොරව සහ ඒ සදහා ගෙවීම් කිරීමකින් තොරව නොමිලේ ලැබෙන බැවින් ඒ වෙනුවෙන් වෙනත් නිෂ්පාදනයකට යොදා ගත හැකිව තිබු සම්පත් කැප කිරිමක් නොකරයි. තවත් ආකාරයකින් කියන්නේ නම් අදාළ නොමිල භාණ්ඩය ලබා ගැනීම නිසා වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරිමේ අවස්ථාවක් කැප නොකර යි. නිදසුනක් ලෙස අප හිරු එළියෙන් රෙදි වේලා ගැනීම නිසා පොතක් මිල දී ගැනීමේ අවස්ථාව කැප නොකරයි.
🔹නිෂ්පාදන ක්රියාවලියක් නොමැතිවීම
අනෙකුත් ආර්ථික භාණ්ඩ නිෂ්පාදනයේ දී ඒවා නිෂ්පාදන ක්රියාවලියක් තුළින් සිදුවේ. නමුත් නොමිල භාණ්ඩ ස්වභාව ධර්මයාගේ දායාදයකි. ඒ සඳහා භාණ්ඩයක මෙන් නිෂ්පාදන ක්රියාවලියක් නැත. ඒවා නොමිලේ ලැබේ.
උදා -: වැසි ජලය, හිරු එළිය නොමිලේ ලැබේ. ඒවාට ආර්ථික භාණ්ඩයක මෙන් නිෂ්පාදන ක්රියාවලියක් නැත.
🔹සැපයුම් සම්බන්ධයෙන් තීරණගත නොහැකි වීම
නොමිල භාණ්ඩවල සැපයුම තීරණය වනුයේ කිසියම් ආර්ථික සංවිධානයක් තුළ ගනු ලබන තීරණවල ප්රතිඵලයක් ලෙස නොවේ. ඒවා කෙතෙක් දුරට සැපයේ ද යන්න පිළිබඳ ව මිනිසාට හෝ කිසියම් සංවිධානයට හෝ ආර්ථිකයට හෝ තීරණය කළ නොහැක. පාලනය කළ නොහැක.
උදා -: හිරු එළිය අඩු වැඩි වීම, විශාල ලෙස වර්ෂාව ලැබීම නිසා ගංවතුර තත්වයන් ඇති වීම, තද පෑයීමක් හේතුවෙන් ඉඩෝරය ඇතිවීම
මේවා මිනිසාට පාලනය කළ නොහැක. ඒවායේ සැපයුම තීරණය වනුයේ ස්වභාව ධර්මයාට අනුව ය. එබැවින් මෙබදු තත්ව ආර්ථික තත්ව ලෙස නොසැලකේ.
🔹හිම්කමක් නොමැති වීම
එනම් ආර්ථික නොවන භාණ්ඩයකට කිසිඳු පුද්ගලයෙකුට අයිතියක් ප්රකාශ කල හැකි නොවේ. හිරු එළිය හෝ ඔක්සිජන් වායුව සම්බන්ධයෙන් හෝ වැසි ජලය සම්බන්ධයෙන් හෝ කිසිදු පුද්ගලයෙකුට මෙය මාගේය යනුවෙන් ප්රකාශ කළ නොහැකි වේ. මක් නිසාද යත් කිසියම් පුද්ගලයකු සතු සම්පත්වලින් නිෂ්පාදනය වූවක් නොවිම නිසා ය.
🔹මිළක් නොමැති වීම
ආර්ථික නොවන භාණ්ඩයක් මුදලට අලෙවි කළ නොහැක. එනම් ආර්ථික නොවන භාණ්ඩයකට වාණිජ වටිනාකමක් ලබා දීමක් කළ නොහැක. හිරු හළිය හෝ වැසි ජලය හෝ අලෙවි කළ හැකි නොවේ. නමුත් පොතක් පෑනක් කමිසයක් වැනි ආර්ථික භාණ්ඩවලට මිලක් ඇත. නමුත් නොමිල භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වූ පසු මිලක් පවතී.
🍁මිලක් අය නොකරන භාණ්ඩ හා නොමිළ භාණ්ඩ🍁
සැපයුමක් පවතින අවස්ථාවේ දී පිරිවැයක් රහිත ව නොමිලේ ලබාගත හැකි භාණ්ඩ නොමිල භාණ්ඩ වේ. එහිදී මිලක් අය නොකරයි. නමුත් සුභ සාධන හෝ වෙනත් හේතු නිසා ද ඇතැම් ආර්ථික භාණ්ඩයන්ගෙන් ද මිලක් අය නොකරයි. නිදසුනක් ලෙස පාසල් සිසුනට නොමිලේ සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් සඳහා වූ රෙදි, පොත් පත්, තරඟ ජයග්රාහකයින්ට දෙන ත්යාග ආදියෙන් මිලක් අය නොකර යි. නමුත් ඒවා ආර්ථික භාණ්ඩ වේ. මක් නිසාද යත් ඒවා අදාළ පුද්ගලයින්ට නොමිලේ ලබා දුන්න ද එසේ ලබා දෙන පුද්ගලයා විසින් හෝ කිසියම් සංවිධානයක් විසින් හෝ මිලක් ගෙවා තිබීමත් ඒ සඳහා සම්පත් පිරිවැයක් දරා තිබිමත් නිසාය. එබැවින් කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් ද නැතහොත් නොමිල භාණ්ඩයක් ද යන්න තීරණය වනුයේ මිලක් ගෙවන්නේ ද යන්න මත නොවේ. ඒ සඳහා ආවස්ථික පිරිවැයක් රැ සම්පත් පිරිවැයක් දරා තිබේ ද යන්න මත යි.
🍁නොමිල භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වන අවස්ථා🍁
🔹කිසියම් සම්පත් පිරිවැයක් දරා ගබඩාකර ගැනීම වැනි අවස්ථාවලදී
උදා -: වැසි ජලය ජලාශ වල රැස්කර තබාගෙන වාරිමාර්ග හරහා ගොවීන්ට බෙදා හැරීම වැනි අවස්ථාවන්, නළ ජලය, ළිං ජලය
🔹කිසියම් විශේෂ අවස්ථාවකට ගැලපෙන පරිදි සකස් වූ පසු
උදා -: කිමිදුම්කරුවන්ට, ගගනගාමීන්ට රෝගීන්ට භාවිතා කළහැකි වන ලෙස සකස් කරන ඔක්සිජන් වායුව, කෘතිම ජලය ආදිය, පතලක් තුළ භාවිතා කරන ඔක්සිජන් වායුව
🔹නොමිල භාණ්ඩ කිසියම් වෙනසකට ලක් නොවී නමුත් මිලක් ගෙවා පරිභෝජනය කිරීමට සිදුවන තත්වයක දී
උදා -: විදුලි පංකාවකින් සැපයෙන වායුව, සංචාරකයින් මෙරටට පැමිණ ලබා ගන්නා හිරු එළිය. සූර්ය කෝෂ මගින් බැටරිවල තැන්පත් කර ප්රයෝජනයට ගන්නා හිරු එළිය, වැලි ගොඩ දැමිමට බල පත්රයක් ලබාගත යුතු අවස්ථා වල දී

🍁උපයෝජනය අනුව නිෂ්පාදනය වර්ගකිරීම
උපයෝජනය යනු ප්රයෝජනයට ගැනීමය යි. නැතහොත් පාවිච්චි කිරීම යි. භාණ්ඩයක් පරිභෝජන අවශ්යතා ඉටු කිරීමට යොදා ගන්නවාද නැතිතම් නිෂ්පාදන අවශ්යතා ඉටු කිරීමට යොදා ගන්නවා ද යන්න මත සියලු භාණ්ඩ නැවත කොටස් දෙකකට බෙදිය හැක. එනම්.
1.පරිභෝගික භාණ්ඩ
2.නිෂ්පාදන භාණ්ඩ
🔹ප්රාග්ධන භාණ්ඩ
🔹අන්තර් භාණ්ඩ
🌱 පාරිභෝගික භාණ්ඩ
පාරිභෝගිකයන්ගේ අවශ්යතා සෘජුවම සපුරාලන භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ වේ. ඒවා වෙනත් භාණ්ඩයන් නිෂ්පාදනය කිරීමට යොදා නොගන්නා භාණ්ඩයි. එනම් කෑම බිම, ඇඳුම් පැළඳුම්, බෙහෙත්, සංචාරයන් සංගීතය ආදිය යි. ඒවා පරිභෝජනය කිරීම තුළින් පුද්ගලයෙකුට යම් තෘප්තියක් වින්දනයක් හෝ උපයෝගීතාවයක් ලැබේ.
උදා-: නිවසක රූපවාහිණියක්,
ශීතකරණයක්, ඇඳක්
🍂දිගුකාලීන පාරිභෝගික භාණ්ඩ සහ කෙටි කාලීන පාරිභෝගික භාණ්ඩ
🔹දිගුකාලීන පාරිභෝගික භාණ්ඩ - යනු අනාගත නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින්, දිගු කාලයක් තිස්සේ නැවත නැවත නිෂ්පාදනයට යොදාගන්නා භාණ්ඩයි
උදා -: ලී බඩු උපකරණ, මහන මැෂින්, ගල් වංගෙඩි, ශීතකරණ
🔹කෙටි කාලීන පාරිභෝගික භාණ්ඩ - යනු අනාගත නිෂ්පාදනය වැඩි කිරීමට යොදාගන්නා පාරිභෝජනයත් සමඟ කෙටි කාලයේ දී අවසන්වන භාණ්ඩයි.
උදා -: කෑම බීම, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්
මේවා පරිභෝජනය තුළින් පුද්ගලයකුට තෘප්තියක්, වින්දනයක්, සහනයක් හෝ උපයෝගීතාවයක් ලැබේ.
🍂 නිෂ්පාදන භාණ්ඩ
නිෂ්පාදන භාණ්ඩ යනු පුද්ගලයෙකු හෝ ආයතනයක් / ආයතනයන් විසින් වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා හෝ ව්යාපාරික ආයතනයක පරිභෝජනය කිරීමේ අරමුණින් මිල දි ගන්නා භාණ්ඩ යි.
නිෂ්පාදන ක්රියාවලියේ දී යොදා ගන්නා අමුද්රව්ය උපකරණ යන්ත්ර සුත්ර ආදී විවිධ දෑ ද නිෂ්පාදන භාණ්ඩ ලෙස අදහස් කරයි. ඒවායින් ඉටු කරනුයේ නිශ්පාදකයින්ගේ විවිධ අවශ්යතාවයන්ය.
උදා -: වෙළඳ සැළක භාවිතා කරන ශීතකරණයක්, ගොවියකුගේ ට්රැක්ටර් රථයක්, හෝටලයක පිඟන්.
නිෂ්පාදන භාණ්ඩවලින් ඉටුවන කාර්ය අනුව ඒවා නැවත උප කොටස් දෙකකට බෙදිය හැක.
🔹අන්තර් භාණ්ඩ
🔹ප්රාග්ධන භාණ්ඩ
🌱 අන්තර් භාණ්ඩ / අතරමැදි භාණ්ඩ.
අන්තර් භාණ්ඩ යනු මොනවා දැයි අවබෝධකර මතු දැක්වෙන කරුණු දෙක පිළිබඳ ව සලකා බැලිය යුතුය.
☑️සෘජුවම හෝ වක්රව නිපදවන භාණ්ඩයට ඇතුල්වීම.
☑️වරක් නිෂ්පාදනයට යෙදු විට අවසන් වී යාම.
මේ අනුව අන්තර් භාණ්ඩ යනු සෘජුවම හෝ වක්රාකාරයෙන් නිපද වන භාණ්ඩයට ඇතුලත් වන එක් වරක් නිෂ්පාදනයට යෙදු විට අවසන් වන භාණ්ඩ යි.
නිපදවන භාණ්ඩයට ඇතුල් වී එම භාණ්ඩය පෝෂණය කිරීමත් අන්තර් භාණ්ඩ විසින් සිදුකරයි. අන්තර් භාණ්ඩ භාවිතා කල හැක්කේ එක් වරක් පමණි.
උදා -:
🔹වී ගොවිතැනේ දී යොදාගන්නා කෘෂි රසායනික ද්රව්ය, පොහොර, ජලය, ශ්රමය, බිත්තර වී
🔹පාන් නිපදවීමේ දී යොදා ගන්නා තිරිඟු පිටි, දිය ලුණු, ඊස්ට්, දර පාන් පුළුස්සන්නාගේ ශ්රමය, ජලය ආදිය.
🔹රෙදි නිෂ්පාදනයේ දී යොදා ගන්නා නූල්, සායම් ආදිය.
🔹ගොඩනැගිලි නිෂ්පාදනයේ දී යොදා ගන්නා වැලි, ගඩොල්, සිමෙන්ති ආදිය.
ඉහත සියලු නිෂ්පාදනයන්වල දී ඒ එක් එක් යෙදවුම මඟින් අදාළ අවසාන නිමවුම පෝෂණය කරනු ලබ යි.
🌱 ප්රාග්ධන භාණ්ඩ
ප්රාග්ධන භාණ්ඩ යනු මොනවාදැයි හදුනා ගැනීමේ දී මතු දැක්වෙන ලක්ෂණ දෙක වැදගත් වේ.
🔹සෘජුවම හෝ වක්රව නිපදවන භාණ්ඩයට ඇතුලත් නොවීම.
🔹නැවත නැවත නිෂ්පාදනයට යොදාගත හැකි වීම.
මේ අනුව ප්රාග්ධන භාණ්ඩ යනු සෘජුවම හෝ වක්රාකාරයෙන් නිපද වන භාණ්ඩයට ඇතුලත් නොවන නැවත නැවත නිෂ්පාදනයට යොදාගත හැකි කල් පවතින නිෂ්පාදන ආධාරකයන් ය. නැතහොත් කල්පවතිනා මිනිසා විසින් සම්පත් පිරිවැයක් දරා නිපදවා ඇති නිෂ්පාදන ආධාරක මින් අදහස් වේ.
උදා -: යන්ත්ර සූත්ර, මෙවලම්, ගොඩනැගිලි, මහා මාර්ග, වාහන, වැව් අමුණු ආදිය ප්රාග්ධන භාණ්ඩ වේ.
ප්රාග්ධන භාණ්ඩවල විශේෂ ලක්ෂණය වනුයේ ඒවා නිෂ්පාදනයට යොදාගැනීමේදී ක්ෂය වීමට ලක් වීම යි. ප්රාග්ධන භාණ්ඩ ක්ෂය වීම නිසා ඒවා ප්රතිසම්පාදනය කිරීමට පිරිවැයක් දැරිය යුතුය. ආර්ථික විද්යාවේ ප්රාග්ධනය යන්නෙන් සැම විටම අදහස් කරනුයේ මූර්ත වත්කමක් ය. එනම් ආර්ථික විද්යාවේ ප්රාග්ධනය යන්න වාණිජ්යයේ හෝ ගණකාධිකරණයේ ප්රාග්ධනයෙන් වෙනස් වේ. ආර්ථික විද්යාවේ ප්රාග්ධන සම්පාදන ක්රියාවලිය හදුන් වනුයේ ආයෝජනය නමිනි. ආර්ථිකයේ වසර ගණනාවක් තිස්සේ සිදුවු ආයෝජනයේ ප්රතිඵලයක් වශයෙන් වර්තමාන ප්රාග්ධන උපකරණ තොගය බිහි වී ඇත. එබැවින් ආයෝජනය යන්න ආර්ථිකය තුළ ක්රියාත්මක වන ඉතා වැදගත් ක්රියාවලියකි. ඒ තුළින් ආර්ථිකය තුළ නැවත නැවත ප්රාග්ධන භාණ්ඩ බිහි වේ.
🍂 මූලාශ්රය (සංයුතිය) අනුව නිෂ්පාදනය වර්ග කිරීම
🔹කෘෂි භාණ්ඩ
🔹කාර්මික භාණ්ඩ
🔹සේවා
රටක නිෂ්පාදිතය සැකසී ඇති ආකාරය නිෂ්පාදිත සංයුතිය ලෙස අදහස් කරයි. රටක නිෂ්පාදිතයේ සැකැස්ම හෙවත් සංයුතිය හදුනා ගැනීමට භාණ්ඩ වර්ගීකරණය යොදාගත හැකිය. රටක භාණ්ඩ වර්ගීකරණය දෙයාකාරයකට සිදුකරයි. එනම්
1.අංශ හෙවත් මූලාශ්ර අනුව වර්ග කිරීම
2.ප්රයෝජනය අනුව වර්ග කිරීම
උපයෝජනය අනුව වර්ග කිරීම ඉහතදී පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර, මෙහි අරමුණ නිෂ්පාදන සංයුතිය අනුව වර්ග කරන අයුරු පැහැදිලි කිරීම යි.
ඕනෑම ආර්ථිකයක කෘෂි, කාර්මික හා සේවා යනුවෙන් අංශ තුනක් දැකිය හැක. මෙම අංශ තුනෙන් කුමන අංශයෙන් බිහිවන භාණ්ඩයන් ද යන කරුණු මත භාණ්ඩ නැවත කොටස් තුනකට වෙන් තළ හැක. එනම්
🔹කෘෂි භාණ්ඩ
🔹කාර්මික භාණ්ඩ
🔹සේවා ;යනුවෙනි.
🌱 කෘෂි භාණ්ඩ
මෙය ප්රාථමික අංශය ලෙස ද හැදින්වේ. බෝග වගාව, ධීවර කටයුතු, පශු(සත්ව) සහ වන වගා කටයුතු මීට අයත් වේ. මෙහි ප්රාථමික අංශය යන යෙදුම කෘෂි අංශය යන යෙදුමට තරමක් වෙනස් බව සැලකිල්ලට ගත යුතුය. ප්රාථමික යන යෙදුම තුළ ස්වභාවික සම්පත් ඇසුරින් සකස් කරන සියලු දෑ අඩංගු වනු ඇත. ඒ අනුව පතල් හා කැනීම් කටයුතු ද ඒ තුළ වෙයි. කෙසේ වුවද කෘෂි අංශය යන යෙදුම පුළුල් අර්ථයක් හැඟවෙන්නකි. ඊට හේතුව කෘෂි අංශය යන යෙදුම තුළ ධීවර කර්මාන්තය ද ඇතුළත් වීමයි.
නිදසුන් -: භූමියේ වගා කිරීමෙන් ලබා ගන්නා එළවළු, පළතුරු, සහල්, පොල් ආදිය
මුහුදෙන් ලබා ගන්නා මාළු, සත්ව පාලනය තුළින් ලබා ගන්නා කිරි, බිත්තර, මස්
🌱 කාර්මික භාණ්ඩ
කැනීමෙන්, තැනීමෙන්, සකස් කිරීමෙන්, නිපද වීමෙන් හෝ එකලස් කිරීමෙන් බිහිවන භාණ්ඩ කාර්මික භාණ්ඩ වේ.
🔹කැනීමෙන් - පොළව කැනීමෙන් ලබා ගන්නා දෑ මීට අයත් වේ. නිදසුන් - මැණික්, මිනිරන්, මැටි
🔹සකස් කිරීමෙන් - කෘෂි භාණ්ඩයක් වෙනස් කිරීම සකස් කිරීමක් ලෙස අදහස් කරයි.
නිදසුන් - තේ දළු වලින් තේ කුඩු, පොල් සකස් කිරීමෙන් ලැබෙන පොල් තෙල්, රබර් ආදිය
🔹නිපදවීමෙන් - කාර්මික භාණ්ඩ තවදුරටත් සකස් කිරීමේ ක්රියාවලියට පත්කර ලබා ගන්නා භාණ්ඩ මින් අදහස් කරයි.
නිදසුන් - කඩදාසි වලින් පොත්, පොල්තෙල් වලින් සබන්, රෙදි වලින් කමිස
🔹තැනීමෙන් - ගොඩනැගිලි ඉදිකිරීම, මහා මාර්ග වාරිමාර්ග යනාදිය ඉදිකිරීමේ කටයුතු විදුලි බලාගාර සනිපාරක්ෂක සේවා යනාදිය
🔹එකලස් කිරීමෙන් - එනම් කිසියම් කාර්මික භාණ්ඩ දෙකක් හෝ වැඩිගණනක් එකට එකතු කිරීම තුළින් ලබා ගන්නා භාණ්ඩ
නිදසුන් - රූපවාහිණි, මෝටර් රථ, අභ්යාවකාශ මධ්යස්ථාන
මේවායේ සියළු කොටස් එක් ස්ථානයක එක් කර්මාන්ත ශාලාවක් තුළ නිෂ්පාදනය නොකරයි. ඒවා විවිධ රටවල් වල හෝ විවිධ කර්මාන්ත ශාලා තුළ නිපදවා අවසානයේ එම සියලුම කොටස් එකලස් කොට නිමි භාණ්ඩය ලබා ගනී.
🌱 සේවා
යම් කාර්යයක් ඉටු කිරීම සේවයක් ලෙස විස්තර කළ හැක. මේවාට මිනිස් අවශ්යතා සෘජුවම සපුරාලිය හැකි වේ. ප්රවාහනය, ගඩඩාකරණය, බැංකු, රක්ෂණය හා අනෙකුත් පෞද්ගලික සේවා එනම් අවමඟුල් සේවා, කොණ්ඩා කැපීම් ආදිය උදාහරණයක් ලෙස දැක්විය හැක. දැනට ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථික අංශය සේවා අංශය යි. ශ්රී ලංකාව සේවා ව්යුහය මත පදනම් වූ ආර්ථිකයක් බවට පත්ව ඇත. සේවා ප්රධාන ආකාර දෙකකි. එනම්,
🔹නිශ්පාදනය හා සම්බන්ධ සේවා
එනම් සංනිවේදනය, භාණ්ඩ ප්රවාහනය, ගබඩා කිරීම, වෙළදාම ආදී සේවාවන් ය. එමගින් සිදුවනුයේ කර්මාන්තශාලාව තුළ නිපද වූ භාණ්ඩ සඳහා නව අගයන් එකතු වීමකි.
🔹මිනිස් අවශ්යතා සාජුවම සපුරාලන සේවා
මගීන් ප්රවාහන කටයුතු, බැංකු හා රක්ෂණ කටයුතු, අධ්යාපනය, සෞඛ්යය, විවිධ සංස්කෘතික කටයුතු (පෙරහැර නැරඹීම), ආරක්ෂාව විනෝදය ආදී සේවා මෙයින් අදහස් කරයි. මෙම සේවා පරිභෝජනය තුළින් මිනිසාගේ අවශ්යතා සෘජුවම තෘප්තිමත් වේ. මීට අමතරව කිසියම් පුද්ගලයකු නිවසක වාසය කිරීම ද සේවාවකි. නිවසේ බඳු කුලීය මඟින් මැන දක්වනුයේ එම සේවාවේ අගය යි.
🍁නිෂ්පාදනයේ සංයුතිය වෙනස් වීම.🍁
☑️රටක් ආර්ථික වශයෙන් දියුණු වීමේදී කෘෂි, කාර්මික හා සේවා යන අංශවල සාපේක්ෂ වැදගත්කම හෝ දායකත්වය ඉතා විශාල වෙනස්වීම් වලට ලක්වේ. නොදියුණු ආර්ථිකයක් ඇති රටක දේශීය නිෂ්පාදනය තුළ වඩා වැදගත් වනුයේ කෘෂිකර්මය යි. ජනතාවගෙන් වැඩි දෙනාගේ ජීවනෝපාය වන්නේ ද කෘෂිකර්මය හා ඒ ආශ්රීත කටයුතුයි. ජනතාවගෙන් වැඩි දෙනෙකු අඩු ආදායම් ලබන්නන් බැවින් පවුලක පරිභෝජන වියදමින් ඉතා වැඩි කොටසක් සමන්විත වන්නේ ද කෘෂිකර්මාන්තය මුලික කරගත් ආහාර ද්රව්ය වලින් ය. නිදසුන් ලෙස පොල්, සහල්, එළවළු ආදී ද්රව්ය වලට වියදම් කළ පසු අනෙකුත් ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ ගමන් බිමන් සඳහා එතරම් ආදායමක් ඉතිරි නොවේ. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ආදායම රු.7500ක් නම් සියලු දෙනාටම අවශ්ය කරන සහල්, පොල්, එළවළු ආදිය මිලදී ගැනීමෙන් පසු අනෙක් භාණ්ඩවලට ඉතිරි වනුයේ ඉතා සුළු ප්රමාණයකි. මුළු ආදායමින් 75% ක්ම යන්නේ ආහාර ද්රව්ය සඳහා යි. නමුත් රු. 60000ක පමණ ආදායමක් ලබන්නේ නම් කෘෂි කාර්මික භාණ්ඩ ආහාර ද්රව්ය වලට අමතරව අනෙකුත් භාණ්ඩ සඳහා ද මුදලක් ඉතිරිවේ.
☑️ආර්ථිකය දියුණුවන විට ඉහත කී ආදායම් වෙනස් වේ. පවුලේ ආදායම දියුණු වේ. එවිට කාර්මික භාණ්ඩවලට මෙන් ම සේවා වලට ද පවතින ඉල්ලුම ඉහළ යයි. පාරිභෝජන ව්යුහය වෙනස් වේ. එවිට දේශීය නිෂ්පාදන සංයුතිය ද වෙනස් වී පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට ප්රමාණවත් භාණ්ඩ සැපයුමක් ලබාදිය හැකි වන පරිදි එය සකස් වේ. පහත සටහනින් දක්වා ඇත්තේ ශ්රී ලංකාවේ පසු ගිය දස වසර තුළ කෘෂි,කාර්මික හා සේවා යන අංශ විසින් දළ ජාතික නිෂ්පාදිතයට කරනු ලැබූ දායකත්වයේ වෙනස් වීම්ය. එහි ක්රමයෙන් කෘෂි අංශය කුඩා වී කාර්මික අංශය සහ සේවා අංශය වර්ධනය වී ඇත. ඊට අනුව ආර්ථිකය ක්රමයෙන් දියුණු වී ඇත.
[පසුගිය දසවසරක කාලය තුල කෘෂි, කාර්මික හා සේවා යන අංශ විසින් දළ ජාතික නිෂ්පාදිතයට කරනු ලැබූ දායකත්වයේ වෙනස් වීම්. (2008 – 2018) පහත රූපයෙන් දැක්වේ]
(සුභ දවසක් , තවත් කොටසකින් හමුවෙමු)

උසස් පෙළ අර්ථික විද්‍යාව - හය වන කොටස -මූලික ආර්ථික ක්‍රියා සහ ආර්ථික කාරක

උසස් පෙළ අර්ථික විද්යාව
පළමු පාඩම: අර්ථික විද්යාව හැදින්වීම-
හය වන කොටස (2019/12/25)
~~~~~~~~~~~~~~~~~~~~~~
🍁මූලික ආර්ථික ක්රියා සහ ආර්ථික කාරක🍁
🌱මූලික ආර්ථික ක්රියා
ඕනෑම ආර්ථිකයක හෝ සමාජයක අඛණ්ඩව සිදුවන මුලික ආර්ථික ක්රියා තුනක් තිබේ. ඒවා නම්,
🔹නිෂ්පාදනය
🔹හුවමාරුව
🔹පරිභෝජනය
🤗ඉහත මූලික ආර්ථික ක්රියා තුනෙන්
නිෂ්පාදනය යනු කුමක් ද යන්න පසුව එන පරිච්ජේදයක පුළුල් වශයෙන් විස්තර කරන අතර පරිභෝජනය යනු කුමක් ද යන්න පූර්ව පරිච්ජේදයක පුළුල් ලෙස විග්රහ කර ඇත. එබැවින් මෙම පරිච්ජේදයේ අරමුණ වනුයේ හුවමාරුව යනු කුමක් ද යන්න විග්රහ කිරීම පමණි.
🌱 හුවමාරුව:
🔹බොහෝ පුද්ගලයින් නිෂ්පාදන කාර්යයක යෙදෙන්නේ තමාගේ ම පාරිභෝගික අවශ්යතා සඳහා භාණ්ඩ හා සේවා නිපදවා ගැනීමට නොවේ. තමාගේ සියලු අවශ්යතා සපුරා ගැනීමට තමා විසින්ම භාණ්ඩ හා සේවා නිපදවා ගනු ලබන ස්වයංපෝෂිත තත්වයක් දැකිය හැකි නොවේ. සහල්, එළවළු ආදිය නිපදවා ගන්නා ගොවියකුට පවා ලුණු, සීනි, පාන්, මාළු ආදීය මිළදී ගැනීමට සිදුවේ. මිළ දී ගැනීමේ දී සිදුවනුයේ හුවමාරුවකි. එනම් මුදල් වලට භාණ්ඩ හුවමාරු වීමකි.
🔹මෙසේ හුවමාරු ක්රියාවලිය සිදුවීමට නම් මුදල් අවශ්ය වේ. මෙසේ මුදල් ලැබෙනුයේ භාණ්ඩ හා සේවා සැපයීම තුළින් ලැබෙන ආදායමිනි. ගොවියකු වී හෝ එළවළු හෝ වෙනත් මස් හෝ බිත්තර වැනි දෑ අලවි කර ආදායමක් උපයා ගනී. ඔහු ඒ සඳහා වෙළඳ පොළ තුළ විකිණිය හැකි අතිරික්තයක් බිහිකර ගත යුතුව ඇත. නුතන සමාජයක මිලදී ගැනීමේ ක්රියාව සඳහා මුදල් අවශ්ය කරයි. ආර්ථිකයක හුවමාරු ක්රියාවලිය පහසු කරනුයේ මුදල් භාවිතය මගිනි. මුදල් හුවමාරු මාධ්යයක් ලෙස ක්රියා කිරීම ඊට හේතුවයි.
🔹භාණ්ඩ මිලදී ගැනිමට මුදල් අවශ්ය වේ. එය අතරමැදියකු ලෙස ක්රියා කරයි. මුදල් වලට මෙම අතරමැදි කාර්ය කළ හැකි වනුයේ ඒවා ගනුදෙනු වලදී කවුරුත් පිළිගන්නා බැවිනි. මුදල් හුවමාරු මාධ්ය ලෙස ක්රියා නොකරන, භාණ්ඩයක් තවත් භාණ්ඩයකට සෘජුව හුවමාරු වන බාටර් ආර්ථිකයක හුවමාරුවක් සිදුවීමට නම් අදාළ හුවමාරුවට සම්බන්ධවන පුද්ගලයින් දෙදෙනාගේ අවශ්යතා ගැලපිය යුතුය. නූතන ආර්ථිකය හුවමාරු ආර්ථිකයක් වී ඇත්තේ මුදල් භාවිතය නිසාය.නූතන ආර්ථිකය මූල්ය ආර්ථිකයක් ලෙස බොහෝ විට හැදින්වේ. හුවමාරුව පහසු වන විට නිෂ්පාදනය ඉහළ යයි. නිෂ්පාදනය වර්ධනය වීමත් සමඟ ඊට සම්බන්ධ ජනතාවගේ ආදායම ඉහළ යයි. මෙසේ නිෂ්පාදනයන් සමඟ ආදායම ඉහළ යාම නිසා පරිභෝජනය ඉහළ ගොස් ජනතාවගේ ජීවන තත්වය උසස් වේ. නිෂ්පාදනය කිරීම මෙන්ම අලෙවි කිරීම ද හුවමාරුව නිසා පහසු වන විට මහා පරිමාණ නිෂ්පාදනයට මඟ පෑදේ. එවිට පුද්ගලයන් තම හැකියාවන් වලින් උපරිම ප්රයෝජන ගැනෙන ආකාරයට නිෂ්පාදන කාර්යයයේ නිරත වීමට මග පෑදේ. එම නිසා නුතන ආර්ථිකයක පුද්ගලයින් නිරත වනුයේ තමාට වඩාත්ම හොඳින් සිදුකළ හැකි කාර්යයයේ පමණි. ඒ තුළින් ශ්රම විභජනය හා විශේෂිකරණයට පත් වේ.
නිදසුන් - රියදුරකු තම ශ්රමය අලෙවි කර ආදායමක් ඉපයීම, එසේම ගුරුවරුන්, කම්කරුවන්, ලිපිකරුවන් ආදායම් උපයන්නේ, තම ශ්රමය සාධක වෙළදපොළේ මුදලට අලෙවි කිරීමෙනි.
🔹හුවමාරු ක්රියාවලියේ නිරත වන්නේ පාරිභෝගිකයින් ය. ඒ සඳහා ඔවුන්ට ආදායමක් අවශ්ය වේ. පාරිභෝගිකයින්ට නැතහොත් කුටුම්භයන්ට (කුටුම්භයක් යනු එක් පවුලකි. අපේ රටේ කුටුම්භයක සාමාජික සංඛ්යාව දළ වශයෙන් පහකි.)
🌱 ආර්ථික කාරක:
🔹ආර්ථිකයක ක්රියාකාරීත්වය සිදුවන්නේ නිෂ්පාදනයත් හුවමාරුවත් පරිභෝජනයත් මඟිනි. මේ ක්රියාවලියට සම්බන්ධ වී ඒ පිළිබඳ තීරණ ගෙන ඒවා ක්රියාවට නංවන පුද්ගලයින් හෝ ආයතන ප්රධාන පාර්ශව හතරකින් යුක්ත වේ. එනම්,
☑️කුටුම්භ අංශය
☑️නිෂ්පාදන අංශය
☑️රාජ්ය අංශය
☑️විදේශ අංශය
🌱 කුටුම්භ අංශය:
එක් වහලක් යට එකට ජීවත්වන පවුලක් කුටුම්භයක් ලෙස අදහස් කරයි. පොදු අයවැයකින් පාරිභෝජනයට සම්බන්ධ තීරණ ගැනීම කුටුම්භයක විශේෂ ලක්ෂණයකි. කුටුම්භයක් ආර්ථික කටයුතුවලට විවිධාකාරයෙන් සම්බන්ධ වේ. ආර්ථිකයක නිෂ්පාදන සාධක හිමිකරුවන් කුටුම්භයන් ය. ඔවුන් තමන් සතු භූමිය, ශ්රමය, ප්රාග්ධනය, ව්යවසායකත්වය යන නිෂ්පාදන සාධක නිෂ්පාදන කටයුතුවලට සපයා දී වැටුප්, බදුකුළී, පොළි සහ ලාභ යන සාධක ආදායම් උපයාගනී. ආර්ථිකයක නිෂ්පාදනය කරන භාණ්ඩත් සේවාවනුත් පරිභෝජනය කරනුයේ කුටුම්භයන් ය. ආර්ථිකයක ඉතුරුම් බිහිකරන ප්රධාන පාර්ශ්රවය වන්නේ ද මෙම කුටුම්භයන්ම ය. කුටුම්භයක් තම ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකරන ප්රමාණය කුටුම්භ ඉතුරුම් වේ. කුටුම්භයක් කටයුතු කරනුයේ භාණ්ඩත්, සේවාවනුත් පරිභෝජනය කිරීමෙන් ලබන උපයෝගීතාව උපරිම කර ගැනීම උදෙසායි.
☑️ කුටුම්භයක් ඉටු කරන කාර්යයන්:
🔹තමා සතු නිෂ්පාදන සාධක (ශ්රමය) සාධක වෙළඳපොලේ අලෙවි කර ආදායම් ඉපයීම.
උදා-: කම්කරුවකු තම ශ්රමය සැපයීම වෙනුවෙන් දිනකට රුපියල් 200ක ආදායමක් ඉපයීම.
🔹ඉතුරුම් බිහි කිරීම - කුටුම්භයක් තමන්ට ලැබෙන ආදායම වියදම් කර භාණ්ඩ හා සේවා මිලදී ගනී. ඒවා පරිභෝජනය කරයි. එබැවින් පාරිභෝගිකයන් යනු කුටුම්භයන්ය.
🔹භාණ්ඩ පරිභෝජනය පිළිබඳ තීරණ ගෙන ක්රියාත්මක වන ප්රධාන ඒකකය කුටුම්භයයි. එබැවින් පාරිභෝගිකයා යයි සඳහන් කරන විට එයින් අදහස් වනුයේ කුටුම්භයන්ය.
🔹යැපුම් නිෂ්පාදන කටයුතු සිදු කිරීම - එනම් කිසියම් කුටුම්භයක් අවශ්යතා සපුරා ගැනීම සඳහා එම කුටුම්භයේ සාමාජිකයන් විසින්ම භාණ්ඩ හා සේවා නිපදවීමකි. එනම් මෙහිදී අවශ්යතා සපුරා ගැනීම උදෙසා වෙළදපළ හරහා ගනුදෙනුවක් සිදු නොවේ. එනම් යැපුම් කටයුතු මගින් හුවමාරුවක් සිදු නොවේ.
උදා -: ගෘහණියන්ගේ සේවා (ඉවුම් පිහුම්, රෙදි සේදීම, දරුවන් රැකබලා ගැනීම, සුද්ද පවිත්ර කිරීම)
🔹බදු ගෙවීම - ඇතැම් කුටුම්භයන්ගේ ආදායම බද්දට යටත්වන මට්ටමේ පවති නම් ඔවුන් රජයට සෘජු බදු ගෙවිය යුතුය. එසේ නොමැති නම් ඔවුන් ගෙවනුයේ වක්ර බදු (භාණ්ඩ හා සේවා මත බදු) පමණි නමුත් ඇතැම් කුටුම්භ සෘජු බදු මෙන්ම වක්ර බදු ද ගෙවයි.
🌱 ව්යාපාර ආයතන / නිෂ්පාදන ඒකක:
වෙළඳපොළේ විකිණීම සඳහා භාණ්ඩත්, සේවාවනුත් නිෂ්පාදනය කරන පුද්ගලයින් ද, ආයතන ද නිෂ්පාදන ඒකක වශයෙන් හැඳින්වේ. ගොවියන්, ස්වයං රැකියාවක නිරත වන්නන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන පුද්ගලයින්, උදාහරණ ලෙස දැක්විය හැක. පෞද්ගලික අංශයත්, දෙපාර්තමේන්තු යනාදී රාජ්ය අංශයන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්යකරන සම්පත් ලබාගනුයේ කුටුම්භ මඟිනි. එලෙස ලබා ගන්නා සම්පත් සඳහා නිෂ්පාදන ඒකක විසින් කුටුම්බවලට ගෙවීම් කරයි. කුමණ භාණ්ඩ කොපමණ ප්රමාණයක් නිපදවන්නේ ද යන්නත් කුමන ශිල්පක්රමය භාවිතා කරන්නේ ද යන්නත් පිළිබඳව තීරණය කරනුයේ ද නිෂ්පාදන ආයතන විසිනි. නිෂ්පාදන ආයතන විසින් කුටුම්භ අංශයෙන් ලබා ගන්නා සාධක සේවා වෙනුවෙන් කුටුම්භ අංශයට ගෙවීම් කරයි. එනම් වැටුප්, පොළී, ලාභ, බදු කුලි ගෙවයි. එවිට නිෂ්පාදන අංශයෙහි සිට කුටුම්භ අංශයට ආදායම් ගලායාමක් සිදුවේ. ව්යාපාර ආයතන ලාභ උපරිම කිරිමේ අරමුණින් ක්රියා කරන බව සැබෑවක් වුවද එය වඩාත් සාධාරණ වනුයේ පෞද්ගලික අංශයේ ව්යාපාර සම්බන්ධයෙන් පමණි. රාජ්ය අංශයේ ව්යාපාරවලදී ලාභයට අමතරව දේශපාලන ආදී කරුණුවල බලපෑමක්ද පවතී.
☑️ව්යාපාරික ආයතන ඉටුකරනු ලබන කාර්යයන්
🔹කුටුම්බයන්ගෙන් නිෂ්පාදන සාධක මිලදී ගෙන ඒ සඳහා ගෙවීම් කිරීම.
🔹පාරිභෝගික භාණ්ඩ ආයෝජන භාණ්ඩ කුටුම්භයන්ට අලෙවිකර ආදායම් ඉපයිම.
🔹නිෂ්පාදන ආයතන මගින් නිපදවන භාණ්ඩවල වටිනාකම මත රජයට බදු ගෙවීම.
🔹රජයෙන් යම් යම් සහන ලබා ගැනීම. (නිදසුන් : බදු සහනාධාර, නිෂ්පාදන පිහිටාධාර, යටිතල පහසුකම්)
🔹විවිධ සමාජ සුභසාධන කටයුතුවල නිරතවීම. (උදාහරණ : ක්රීඩා සහ සංස්කෘතික කටයුතුවලදී ව්යාපාරික ආයතන විසින් අනුග්රහය දැක්වීම, පොදු සමාජ ව්යසනයන්වලදී ආධාර උපකාර කරීම.
🔹ආයෝජන කටයුතුවල නිරතවීම. (කොටස් වෙළඳපොළ ආදී මුල්ය ආයතනවල ව්යාපාරීක ආයතන සිය ධනය ආයෝජනය කරයි.
🌱 රාජ්ය අංශය:
ව්යවස්ථාදායකයත් විධායකයත් රජය ලෙස සලකයි. රටට අවශ්ය නීති සැකසීම ව්යවස්ථාදායකයෙන් ද ඒවා ක්රියාවට නැංවීම විධායකයෙන් ද සිදුවේ. අධිකරණ, ආරක්ෂණ, අධ්යාපන, සෞඛ්ය, සමාජ සේවා, ප්රවාහන, තැපැල්, විදුලි සංදේශ යනාදී අංශ පිළබඳව ප්රතිපත්ති සම්පාදනය කරන, ඒවා ක්රියාත්මක කරන හා ඒවායේ ක්රියාකාරිත්වය අධීක්ෂණය කරන ආයතන රජය යන්නට අයත් වේ. ආර්ථිකයක ක්රියාකාරිත්වයට රජය විවිධාකාරයෙන් දායක වේ.
☑️ රජයේ කාර්යභාරය
🔹ආර්ථිකයට අවශ්ය නීතිරීති රාමුව සකස් කරනුයේ රජයයි. කුටුම්භයන් සතු නිෂ්පාදන සාධක අයිතිය තහවුරු වන්නේත්, ව්යාපාර ආයතනවල පැවැත්ම තහවුරු වන්නේත්, නිෂ්පාදන හුවමාරුව නීත්යානුකූල වන්නේත්, නීතිය හා සාමය ආරක්ෂා වන්නේත් එහි නීති නිසාය.
🔹ආර්ථිකයක ක්රියාකාරිත්වයට අවශ්ය කරන පොදු පහසුකම් සැපයීම ද රජයක් විසින් සිදු කරනු ලබන තවත් වැදගත් කාර්යයක් වේ. මහා මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලය, සන්නිවේදනය ආදිය රජයෙන් සැපයෙන පොදු පහසුකම්වලට උදාහරණ වේ.
🔹රජය මානව සම්පත් සංවිධානය උදෙසා දායක වේ. මිනිසා සතු දක්ෂතා නිපුනතා යනාදිය සංවර්ධනය කිරීම මෙමගින් අදහස් කරයි. රජය සපයන අධ්යාපනය හා සෞඛ්ය සේවාවන් මේ සඳහා ඉවහල් වේ. මෙම සේවා පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒ සඳහා ගෙවීමට හැකියාවක් නැති පුද්ගලයින්ට පවා එකී සේවා ලබා දෙන්නේ රජයෙනි.
🔹පොදු භාණ්ඩ හා සේවාවන් සැපයීමත් රජයට අයත් කාර්යයක් වේ.ආලෝකකරණය, ප්රදීපාගාර, ඔරලෝසු කණු, ජල ගැලීම් වැලැක්වීම සඳහා වූ ව්යාපෘති ඇති කිරීම උදාහරණ වේ.
මෙම භාණ්ඩ සඳහා මිලක් අයකර ගැනීමට නොහැකි බැවින් එම භාණ්ඩ පෞද්ගලික අංශය සපයන්නේ නැත. මිල ගෙවු අයටත්, නොගෙවු අයටත් එකසේ මෙම භාණ්ඩ පාරිභෝජනය කල හැකි වේ. මිලක් නොගෙවු අය පරිභෝජනයෙන් ඉවත් කළ නොහැකි වීම මෙම භාණ්ඩවල ඇති විශේෂ ලක්ෂණයකි. රජය කටයුතු කරනුයේ ජනතාවගේ ශුභ සිද්ධිය සඳහායි.
🔹බදු පැනවීම ද රජය විසින් සිදු කරයි. රාජ්ය සේවා පවත්වාගෙන යාමට රජය විසින් දරන වියදම පියවා ගන්නේ බදු ආදායම මගිනි ඒ සඳහා විවිධ වු බදු වර්ග පවති.
උදා : ආනයන බදු, දේපල බදු, ආදායම් බදු, වැට් බද්ද
(2018 මහ බැංකු වාර්තාව අනුව බදු ආදායම ද.දේ.නි % ලෙස 11.85 % කි.)
රජය බදු පනවනුයේ ව්යාපාරික අංශවලින් පමණක් නොවේ. කුටුම්භයන් මත ද රජය බදු පනවයි.
🌱 විදේශ අංශය:
🔹විදේශ අංශය යනු රටක් තම දේශසීමාවෙන් පරිභාහිර වු වෙනත් රටවල් සමඟ සිදු කරන වෙළඳ ගනුදෙනුයි විදේශ අංශයේ ප්රධාන කාර්යයන් දෙකක් පවතී.
☑️විදේශ අංශයේ කාර්යභාර්ය
1.ආනයන අපනයන කටයුතු සිදු කිරීම.
2.විදේශ විනිමය ගණුදෙනු සිදු කිරීම.
3.බදු ගෙවීම, ආයෝජන කටයුතු සිදු කිරීම. 4.ප්රාග්ධන ලැබීම හා ගෙවීම් සිදු කිරීම.
🍁ආර්ථික කාරක අතර සම්බන්ධතාවය:
🔹ආර්ථිකයක ක්රියාකාරීත්වය අවබෝධකර
ගැනීමට කුටුම්භ, නිෂ්පාදන ආයතන රජය
යන ප්රධාන ආර්ථික කාරක අතර ඇති
සම්බන්ධය අවබෝධකර ගැනීම වැදගත්
වේ. එම සම්බන්ධය සාරාංශ වශයෙන්
පහත පරිදි දැක්විය හැත.
🔹කුටුම්භ විසින් නිෂ්පාදන ආයතනවලට සහ රජයට සාධක සපයා ආදායම් උපයා ගනියි. ඒ ආදායම් වියදම් කරන භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. ඉතුරුම් බිහි කරයි. එසේම රජයට බදු ගෙවීමක් ද සිදු කරයි.
🔹නිෂ්පාදන ආයතන විසින් රජයට කුටුම්භයන්ට හා නිෂ්පාදකයින්ට අවශ්ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. ඒ සඳහා කුටුම්භවලින් ශ්රමය සහ වෙනත් නිෂ්පාද සාධක / සම්පත් මිලදි ගෙන ඒවාට ගෙවීම් කරයි. භාණ්ඩ අලෙවියෙන් ලාභ ඉපයේ එසේම ලාභය මත රජයට බදු ගෙවයි.
🔹රජය විසින් කුටුම්භයන්ට මෙන්ම නිෂ්පාදන ආයතනවලට පොදු පහසුකම් සපයයි එනම් කුටුම්භවලට අවශ්ය කරන අධ්යාපනය, සෞඛ්ය වැනි සුභ සාධන සේවා සපයයි. මෙවැනි සේවා සැපයීම සඳහා රජය නිෂ්පාදන ආයතන සහ කුටුම්භවලින් බදු පනවා ආදායමක් උපයා ගනියි.
🔹නිෂ්පාදන අංශය විසින් දේශිය වෙළඳපොළට මෙන්ම විදේශීය වෙළඳපොළට ද භාණ්ඩ හා සේවා සපයයි. එසේම විදේශ වෙළඳපොලෙන් අවශ්ය කරන අමුද්රව්ය ආදිය ලබා ගනියි. එහිදී ආනයන / අපනයන වශයෙන් ජාත්යන්තර වෙළඳාමක් බිහිවේ.
--සුභ දවසක්, තවත් කොටසකින් හමුවෙමු--